Press "Enter" to skip to content

EDGE ව්‍යාපෘතිය තුළින් ආදර්ශමත් ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසකට ඇගයුම්

British Council මෑතකදී ChildFund Sri Lanka සමග එක් වී ශ්‍රී ලාංකික කාන්තාවන් තම ප්‍රජාවන් තුළ අත්කරගෙන ඇති විශේෂ ජයග්‍රහණ ඇගයීම සඳහා විශේෂ තරගයක් සංවිධානය කළේ ය. මෙහිදී එම ආදර්ශමත් කාන්තාවන් හඳුනාගෙන ඔවුන් ඇගයීමට ලක්කිරීම සඳහා ගැහැනු දරුවන්ට අවස්ථාව ලබාදෙන ලදි. English and Digital for Girls’ Education (EDGE) ව්‍යාපෘතියේ කණ්ඩායම් නායිකාවන් සහ සාමාජිකාවන් වෙනුවෙන් සැලසුම් කරන ලද මෙම තරගයේ අරමුණ වූයේ, එබඳු ආදර්ශමත් චරිත බවට පත්වීම සඳහා මෙම ගැහැනු දරුවන්ද දිරිගැන්වීම ය.

තරගයේ සම්මාන උළෙල 2024 මාර්තු 22 දින කොළඹ ටවර් හෝල් රඟහලේදී පැවැත්විණි. ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින EDGE සාමාජිකාවන් විසින් ඉදිරිපත් කරන ලද විශේෂාංග පෙළක් ඊට ඇතුළත් වූ අතර, සමාජයට කැපීපෙනෙන මෙහෙවරක් ඉටුකළ කාන්තාවෝ පිරිසක් එහිදී සම්මානයෙන් පිදුම් ලැබූහ. ශ්‍රී ලංකාවේ ප්‍රථම දෘශ්‍යාබාධිත විලාසිතා නිර්මාණ ශිල්පිනිය ලෙස සැලකෙන නයනා ආශ්චර්යා එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය.

දැරියන් විසින් තෝරාගන්නා ලද ආදර්ශමත් කාන්තාවන් අතරට මවුවරුන්, සහෝදරියන්, වෛද්‍යවරියන් සහ ගුරුවරියන් ඇතුළු විවිධ කාණ්ඩවලට අයත් කාන්තාවෝ ඇතුළත් වී සිටියහ. එමෙන්ම එම දැරියන් විසින් 4 දෙනා බැගින් වූ කණ්ඩායම් වශයෙන් එක් වී එම ආදර්ශමත් කාන්තාවන් නිරූපණය වන පෝස්ටර්ද නිර්මාණය කරන ලද අතර, මෙම පෝස්ටර් අතරින් සමාජ, දිස්ත්‍රික් සහ ජාතික මට්ටම්වලින් ජයග්‍රාහී පෝස්ටර් තෝරාගන්නා ලදි.

“මෙම තරගයේදී ආදර්ශමත් කාන්තාවන් ලෙස තෝරාගනු ලැබූ සහ ඇගයීමට ලක් වූ කාන්තාවන් සියලුම දෙනාට මගේ උණුසුම් සුබපැතුම්! ඔවුන්ගේ මෙහෙවර අගය කරන සහ ප්‍රජාවන් තුළ ඔවුන්ගේ භූමිකාවේ වැදගත්කම අවධාරණය කරන මෙවැනි වැඩසටහන්වලට දායක වීමට ලැබීම අප ලද ගෞරවයක්. මේ ආකාරයට කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට වැදගත් වන ආදර්ශමත් චරිත කරළියට රැගෙන එමින්, ඔවුන්ට තම හැකියාවන් ඔස්සේ තම උපරිමය ළඟා කරගැනීමට අත්වැලක් වීමත්, ඔවුන්ගේ ප්‍රජාවන් තුළ ස්ත්‍රී පුරුෂ අන්තර්කරණය සහ සමාන අවස්ථා තහවුරු කිරීමත් අතිශයින් වැදගත්. EDGE ව්‍යාපෘතිය මේ වනවිට ගැහැනු දරුවන්ට බලපාන ගැටලු විවෘතව කතා කිරීමට සුරක්ෂිත අවකාශයක් බවට පත් වී තිබීම සතුටට කරුණක්. එමෙන්ම එය ඔවුන්ට තම ජීවිත සම්බන්ධයෙන් දැනුවත් තීරණ ගැනීමට හැකි වන ආකාරයට ඔවුන් සවිබල ගන්වමින්, ඔවුන් සිහින දකින අනාගතය උදාකර ගැනීමට ඔවුන්ට අත්වැලක් වෙමින් තිබෙනවා.” ශ්‍රී ලංකාවේ British Council හි අධ්‍යක්ෂ ඕලන්ඩෝ එඩ්වඩ්ස් මහතා පැවසී ය.

“English and Digital for Girls’ Education (EDGE) ව්‍යාපෘතිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ British Council සමග මෙලෙස අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. අඩු පහසුකම්ලාභී ප්‍රජාවන්ගේ ගැහැනු දරුවන් අතර ඉංග්‍රීසි භාෂාව, ඩිජිටල් දැනුම සහ සමාජයීය කුසලතා නංවාලීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබෙනවා. මෙහිදී සිදුවන්නේ ප්‍රජා මට්ටමින් ගැහැනු දරුවන්ගේ සමාජ පිහිටුවා, විවිධ ක්ෂේත්‍රවල පුරෝගාමීන් සම්බන්ධ කරගෙන එම ගැහැනු දරුවන්ට අධ්‍යාපනය ලබාදීමයි. ක්‍රමානුකූලව මේ ගැහැනු දරුවන්ගේ ආත්ම විශ්වාසය වර්ධනය වනු දැකීම මට මහත් සතුටක්. මේ ආකාරයට දැනුම හා කුසලතා වර්ධනය කරවීම තුළින් ඔවුන්ට සාම්ප්‍රදායික සීමාවන් පසුකර යමින් තම ඉලක්ක හා අරමුණු ළඟා කරගැනීමට හැකි වෙනවා. මේ වීරවරියන් සියලුම දෙනාට දීප්තිමත් අනාගතයක් වෙනුවෙන් මා සුභ ප්‍රාර්ථනා කරනවා.” ChildFund Sri Lanka හි මෙරට අධ්‍යක්ෂිකා අදිති ඝෝෂ් මහත්මිය පැවසුවා ය.

ශ්‍රී ලංකාවේ සමාජයීය හා ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින ප්‍රජාවන්ට අයත්, වයස අවුරුදු 13 ත් 19 ත් අතර ගැහැනු දරුවන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා EDGE ව්‍යාපෘතිය 2023 වසරේ සිට උත්සාහ දරමින් සිටී. තමන් සමග අත්වැල් බැඳගෙන සිටින සංවිධාන හරහා ප්‍රජාවන් මූලික කරගත් සමාජ එකතුවක් නිර්මාණය කිරීමට British Council පියවර ගෙන තිබේ. ගැහැනු දරුවන් මුහුණ දෙන බාධක අවම කිරීම, ඔවුන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීම සහ ඔවුන්ට හිමිවන අධ්‍යාපනික, සමාජයීය හා ආර්ථික අවස්ථා පුළුල් කිරීම මෙහි අරමුණයි. එමෙන්ම මෙම ගැහැනු දරුවන්ගෙන් සමන්විත ප්‍රජාවන් අතරින් තෝරාගත් පිරිසකගේ නායකත්ව හැකියාවන් වර්ධනය කරවීමටද මෙම ව්‍යාපෘතිය තුළදී අවධානය යොමුකෙරේ. මේ වනවිට නුවරඑළිය, පුත්තලම, කොළඹ (කොම්පඤ්ඤවීදිය), මොණරාගල සහ මාතලේ යන දිස්ත්‍රික්කවල EDGE ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත. ප්‍රජා මූලික සමාජයන් හරහා මේ වනවිට ගැහැනු දරුවන් 720 කගේ සහ කණ්ඩායම් නායිකාවන් 60 දෙනෙකුගේ ඉංග්‍රීසි භාෂා හැකියාවන්, ඩිජිටල් කුසලතා, සමාජයීය දැනුම සහ නායකත්ව කුසලතා වර්ධනය කරවීමට මෙම ව්‍යාපෘතිය සමත් වී ඇත.

Name list of the winners

  • 1st place – Puttalam (Puttalam Center)
  • S.M. Chamudi Shenali Siriwardhana
  • G.K. Gimhani Sathsarani
  • R.M. Asheni Sanjila
  • M.A. Shahiyathul Jennah
  • 2nd place – Dambulla (Mailattawa Center)
  • D. Dananjani Nimansala
  • W.A. Manjusa Udgandi Vijesingha
  • W.A. Maheshika Udgandi Vijesingha
  • W.G. Sachithra Samadi Purnima Waththegedara
  • 3rd place – Dambulla (Dambulla Center)
  • A. Disanayaka
  • W.M.V.C. Disanayaka
  • W.G.N. Kaushalya
  • M.D. Sewwandi
More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *