ශ්‍රී ලංකාවේ කෙටි කාලීන වාණිජ කෘෂි බෝග අංශය තුළ මෑතකදී සුවිශේෂී සහ ප්‍රබල වෙනසක් සිදු විය. දිවයිනේ අපනයන ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින්, Asia Plantation & Export (Pvt) Ltd සමාගම ශ්‍රී ලංකා ෂරියා කවුන්සිලය (Sri Lanka Sharia Council) සමඟ නිල වශයෙන් අවබෝධතා ගිවිසුමකට එළඹුණි. ව්‍යාපාරික ලෝකයේ නිරන්තරයෙන්ම නව මාවත් සොයා යන සමාගමක් ලෙස, ඉස්ලාමීය මූල්‍ය ක්‍රමවේදයන් (Sharia Finance) සම්බන්ධයෙන් ෂරියා කවුන්සිලය සමඟ මෙවැනි අවබෝධතා ගිවිසුමකට එලඹි ශ්‍රී ලංකාවේ ප්‍රථම වැවිලි සමාගම ලෙස ඔවුන් මෙලෙස ඉතිහාස ගතවිය.
Asia International Consolidated (Pvt) Ltd සමූහ ව්‍යාපාරයට අයත් මෙම සමාගම, වසර ගණනාවක් පුරා නැවුම් පලතුරු, එළවළු සහ ධාන්‍ය අපනයනය කරමින් විශ්වාසනීය නාමයක් දිනා සිටියි. තවද Asia Plantation & Export (Pvt) Ltd සමාගම මේ වන විට ශ්‍රී ලංකා වෙළඳපොළ තුළ විශාලතම සහ වඩාත් විශ්වාසදායී ස්ට්‍රෝබෙරි (strawberry) සැපයුම්කරුවෙකු බවට ඉතා ප්‍රකටය. ඔවුන් 2023-2024 වසර සඳහා කීර්තිමත් “ගෝල්ඩන් ෆෙදර්” (Golden Feather) සම්මානයෙන් ද පිදුම් ලැබූ අතර, එය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් වසර ගණනාවක් පුරා ගොඩනගාගත් දැඩි විශ්වාසය වෙනුවෙන් ලැබුණු සුවිශේෂී ඇගයීමකි.
ශ්‍රී ලංකා ෂරියා කවුන්සිලය සමඟ අත්සන් කරන ලද මෙම අවබෝධතා ගිවිසුම සමාගමේ වැවිලි අංශයට සම්පූර්ණයෙන්ම නව මානයක් එක් කරයි. එහි මූලික පියවරක් ලෙස සමාගම සිය අන්නාසි වගා ව්‍යාපෘතිය සඳහා දොරටු විවර කරන අතර, 2026 මාර්තු මස අවසන් වීමට පෙර සමාගමේ කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් ඉස්ලාමීය ඒකකයක් (Islamic Unit) ආරම්භ කිරීමට ද අපේක්ෂිතය.
මෙම ගිවිසුමට අනුව, අන්නාසි ව්‍යාපෘතියට අදාළව ශ්‍රී ලංකා ෂරියා කවුන්සිලයේ ‘දාරුල් ෆත්වා’ (Darul Fatwa) ආයතනය මගින් නිකුත් කරනු ලබන ඉස්ලාමීය නෛතික තීන්දු (Fatwa), නියමයන් සහ කොන්දේසි මෙන්ම එම කවුන්සිලය විසින්ම සකස් කරන ලද ගිවිසුම් තුනට අනුකූලව කටයුතු කිරීමට සමාගම දැඩි ලෙස බැඳී සිටී. තවද, ෆත්වා ලේඛන, ව්‍යාපෘති කොන්දේසි සහ ගිවිසුම් සකස් කිරීමේදී කවුන්සිලයේ නිල ලාංඡනය භාවිතා කිරීමට ද සමාගමට අවසර හිමිවේ. මීට අමතරව, ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත අනෙකුත් වැවිලි ව්‍යාපෘති සඳහා ද කවුන්සිලයේ උපදෙස් මත ෂරියා අනුකූල මූල්‍ය ආකෘතීන් (Sharia Compliant Financing) හඳුන්වා දීමට සමාගම අපේක්ෂා කරයි. ඉස්ලාමීය මූල්‍ය ව්‍යුහයක් තුළ ව්‍යාපාරික ලාභ ලැබීමට කැමැත්තක් දක්වන ගනුදෙනුකරුවන්ට අවස්ථාව සලසා දීම හරහා මැද පෙරදිග සහ ආසියාව පුරා වේගයෙන් වර්ධනය වන දැවැන්ත මුස්ලිම් පාරිභෝගික වෙළඳපොළ ජය ගැනීම සමාගමේ මූලික ඉලක්කයයි.
මෙම ගිවිසුම අත්සන් කිරීමේ උත්සවය දෙපාර්ශවයේම සම්භාවනීය නියෝජිත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකා ෂරියා කවුන්සිලය වෙනුවෙන් එහි ලේකම් අල් උස්තාස් අල් ආලිම් M. B. M. හිෂාම් (අල් ෆත්තාහි) මවුලවිතුමා ගිවිසුමට අත්සන් තැබූ අතර, එම අවස්ථාවට අල් උස්තාස් අල් ආලිම් M. R. M. රිසාන් (අල් ඉහ්සානි), අල් උස්තාස් අල් ආලිම් M. R. M. ජහන්කීර් (අල් සහ්රි), අල් උස්තාස් අල් ආලිම් A. K. M. බිලාල් (අල් ඉල්මි), අල් ආලිම් M. හරිඩ් මුහීඩ් (අල් බහ්ජි), කවුන්සිලයේ භාණ්ඩාගාරික මවුලවි M. R. අබ්දුල් රහ්මාන් (අල් හිලාලි) සහ නීතිඥ එන්. එම්. රියාස් යන මහත්වරුන් සහභාගී වූහ.
Asia International Consolidated (Pvt) Ltd සමාගම වෙනුවෙන් එහි සභාපති දේශමාන්‍ය ආචාර්ය අසංක දිසානායක මහතා ගිවිසුමට අත්සන් තැබූහ. එමෙන්ම අධ්‍යක්ෂ මුදිත ජයවර්ධන, සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) අලංක අබේසේකර, සාමාන්‍යාධිකාරී (අලෙවි) ඩිලාන් ගුණරත්න, සහකාර සාමාන්‍යාධිකාරී තිලක ප්‍රසන්න සහ ජාත්‍යන්තර ව්‍යාපාර උපදේශක සහ ෂරියා ව්‍යාපාර අංශ ප්‍රධානී රූමි හුසේන් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්වූහ.
ෂරියා අනුකූල මූල්‍ය රාමු අනුගමනය කිරීම හරහා Asia Plantation & Export සමාගම ඉදිරියේදී සෞදි අරාබිය ඇතුළු ගල්ෆ් කලාපීය රටවලින් සහ අනෙකුත් මැදපෙරදිග ආර්ථිකයන්ගෙන් පැමිණෙන ඉස්ලාමීය ආයෝජන ප්‍රාග්ධනය සඳහා ප්‍රධාන ආකර්ෂණයක් වනු ඇත. අද දින මූල්‍ය රාමුවක් ලෙස ඇරඹෙන මෙම ගමන, නුදුරු අනාගතයේදී සෘජු විදේශ ආයෝජන (FDI) මෙරටට ගලා එන ප්‍රබල මාර්ගයක් බවට පවත්වනු නොඅනුමානය.
වැවිලි ක්ෂේත්‍රය හරහා ඉස්ලාමීය මූල්‍ය ආකෘතිය (Islamic Financial module) ප්‍රවර්ධනය කිරීම සඳහා සමාගම ගත් මෙම එඩිතර පියවර මගින් නව විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමට පමණක් නොව, ජාතික ආහාර සුරක්ෂිතතා ඉලක්ක සපුරා ගැනීමට සහ වගකීම් සහගත භූමි පරිභෝජනය හරහා නැවත වන වගා කිරීමේ ප්‍රයත්නයන් සඳහා ද විශාල දායකත්වයක් ලැබෙනු ඇත.
කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අමතරව, Asia International Consolidated සමූහ ව්‍යාපාරය සංචාරක, සෞඛ්‍ය සේවා සහ ආගන්තුක සත්කාර යන ක්ෂේත්‍රයන් දක්වා ද සිය ව්‍යාපාර ජාලය ව්‍යාප්ත කර ඇත. එමෙන්ම එහි ‘Aerosphere’ අංශය හරහා සිය වැවිලි මෙහෙයුම් සිංගප්පූරුව සහ මැලේසියාව වැනි රටවල් දක්වා ද ව්‍යාප්ත කිරීමට එම සමාගම කටයුතු කර තිබේ.






Be First to Comment