මෙරට සංචාරක ක්ෂේත්රයට නව පරිච්ඡේදයක් එක් කරමින් ඉතිහාසයේ වැඩිම මාසික සංචාරක පැමිණීම මේ වසරේ ජනවාරි මාසයේ දී වාර්තා කිරීමට සමත්ව තිබේ.
ඒ අනුව මේ වසරේ ජනවාරි මාසයේදී විදෙස් සංචාරකයන් 277,327 දෙනකු මෙරටට පැමිණ තිබෙන අතර, සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් රජය ගෙනයන විශේෂ වැඩපිළිවෙළ හමුවේ සංචාරකයන් වැඩි පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට හැකිව තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) ප්‍රකාශ කරයි. මීට පෙර 2025 දෙසැම්බර් මාසයේ දී වැඩිම සංචාරකයන් පිරිස වන 258,928ක් මෙරටට පැමිණ තිබේ. ජනවාරි මාසයේ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ පසුගිය 15 වැනිදා බවත්, එම සංඛ්‍යාව 10,483ක් බවත් එම අධිකාරිය පෙන්වා දෙයි.
ඊට අමතරව ජනවාරි මාසයේදී වැඩිම සංචාරකයන් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර, එම සංඛ්‍යාව 52,061කි. එංගලන්තය, රුසියාව, ජර්මනිය, චීනය වැනි රටවලින් ද සංචාරකයන් වැඩි පිරිසක් පැමිණ තිබෙන අතර, ජනවාරි මාසයේදී ඒ අනුව එංගලන්තයෙන් 29,540ක් ද, රුසියාවෙන් 27,134ක් ද, ජර්මනියෙන් 17,776ක් ද, චීනයෙන් 14,003ක් ද වශයෙනි.
මේ වසරේ ගත වූ කාලයේ විදෙස් සංචාරකයන් 317,000කට වැඩි සංඛ්‍යාවක් මෙරටට පැමිණ තිබෙන අතර, ජනවාරි මස පළමු වැනිදා සිට පෙබරවාරි මස 04 වැනිදා තෙක් කාලය ගත් විට විදෙස් සංචාරකයන් 317,381 දෙනකු මෙරට පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. මෙරටට පැමිණි විදෙස් සංචාරකයන් අතරින් වැඩිම පිරිස ඉන්දියානුවන් වන අතර, මේ වසරේ ගෙවී ගිය කාලයේ ඉන්දියානුවන් 57,348 දෙනකු මෙරටට පැමිණ තිබෙන බව ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්වා දෙයි.
ඉන්දියානුවන්ට අමතරව බ්‍රිතාන්‍යයෙන් 34,724ක් ද, රුසියාවෙන් 30,951ක් ද, ජර්මනියෙන් 20,272ක් ද, චීනයෙන් 16,315 ක් ද මෙරටට පැමිණ තිබේ. ඊට අමතරව ප්‍රංශය, ඔස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය වැනි රටවලින් සැලකිය යුතු සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණි බව ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියයි.
මේ අතර පෙබරවාරි මාසයේ මුල් දින හතරේ පමණක් විදෙස් සංචාරකයන් 40,054 දෙනකු සංචාරය සඳහා මෙරටට පැමිණ තිබේ.
මහින්ද අලුත්ගෙදර






Be First to Comment