ත්‍රිකුණාමලය වෙරළ තීරයේ බුදු පිළිම වහන්සේනමක් තැන්පත් කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බළන්ගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේ සිවුනම ඇතුළු 09 දෙනා මහාධිකරණ නියෝග ප්‍රකාරව ඇප මත මුදා හැරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් මහතා ඊයේ (11) පියවර ගත්තේය.
එක් අයකු රුපියල් 10,000/= බැගින් වූ මුදල් ඇප සහ ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් මුදා හැරීමට ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අබ්දුල්ලා මහරුෆ් මහතා විසින් නිකුත් කළ ඇප නියෝගය කියවා දෙමින් සැකකරුවන් ඇප මත මුදා හරින ලදි.
දින 29ක කාලයක් බන්ධනාගාරගතව සිට මෙසේ ඇප මත මුදාහැරීමට නියෝග කරනු ලැබුවේ, බළන්ගොඩ කස්සප, ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ, ත්‍රිකුණාමලයේ සුඛිත වංශතිස්ස සහ නන්ද යන භික්ෂුන් වහන්සේ සිවුනම සහ දීපානි ලියනගේ, නන්දික විදුරංග ලොකුගලප්පත්ති, එල්.ටී. පෙරේරා, පියල් හේමසිරි, දැකුම් දුලාර ගුණතිලක යන පිරිස වේ.
ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙරවරුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මණ්ඩලය පවසා සිටියේ පෙරවරු 10.30ට මහාධිකරණයේ මෙම විත්තිකරුවන්ට අදාළව ඇප අයදුම්පත විභාගයට ගන්නා බැවින් එම නඩුවේ තීරණය ලැබුණු පසු මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව කැඳවීමට ඉල්ලුම් කරන බවයි. ඒ අනුව නඩුව පසුව කැඳවීමට කල් තැබිණි. මහාධිකරණ විනිසුරු අබ්දුල්ලා මහරුෆ් මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ රජයේ නීතිඥ කළන කොතලාවල මහතා නීතිපති වෙනුවෙන් පෙනී සිටිමින් දීර්ඝ කරුණු කරුණු දැක්වීමක් කරමින් කියා සිටියේ සැකකරුවන් වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කරමින් වෙරළට හානි සිදුකරමින් කටයුතු කර ඇති බවයි. එයට අමතරව අයුතු ජනරාශිය හා රාජකාරි ඉටුකිරීමට පැමිණි පොලිස් නිලධාරීන්ට පහර දීම හා රාජකාරි බාධාවන් සිදුකර ඇති බවද කියා සිටින ලදි.
සැකකරුවන් වෙනුවෙන් නුවන් වැල්ලන්තුඩාව, මහේෂ් කොටුවැල්ල, සංජීව වීරවික්රම, චතුරි ධනංජනී, මහේන්ද්‍ර ඩයස්, මනෝජ් සෙබස්තියන්, කළන පින්නදූවහේවා යන නීතිඥ මණ්ඩලය පෙනී සිටියහ.
නුවන් වැල්ලන්තුඩාව, මහේෂ් කොටුවැල්ල යන නීතිඥ මහතුන් අධිකරණ හමුවේ කියා සිටියේ භික්ෂුන්වහන්සේ හෝ දායක පිරිස කිසිදු වරදක් සිදු කර නොමැති බවය. පූජා භූමි ඔප්පුවක් සහිත විහාරස්ථානයට අයත් භූමියේ පැවති දහම් පාසල් ගොඩනැඟිල්ලේ අත්තිවාරම මත තාවකාලික ගොඩනැඟිල්ලක් ඉදිකර බුදුපිළිම වහන්සේනමක් තැන්පත් කිරීම කළ බවත්, එම අවස්ථාවට සහභාගි වූ ස්වාමින්වහන්සේ හා දායකයන් නිකරුණේ සිරකර ඇති බවත් ඔවුහු සඳහන් කළහ.
පොලීසිය පැමිණ ගැටුමක් ඇතිකළේ කාගේ වුවමනාවටද යන්න සොයා බැලිය යුතු බවත් භික්ෂුන්වහන්සේට සහ පිරිසට පහරදුන් පොලීසිය සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් එහිදී නීතිඥවරු පෙන්වා දුන්හ.
ඉකුත් 2025 නොවැම්බර් 16 දින බුදුපිළිම වහන්සේනමක් තැන්පත් කිරීමෙන් අනතුරුව, ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් වරාය පොලීසිය මඟින් BR/1786 යටතේ කරුණු වාර්තා කරමින් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනුකරන ලදි.
අනතුරුව ඉකුත් 2026 ජනවාරී 14 වැනිදා බළන්ගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂුන් වහන්සේ හතරනමක් සහ දායකයන් පස්දෙනා ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට කැඳවා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකරන ලදි.
අනතුරුව වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කිරීම සහ ත්‍රිකුණාමලය පොලිස් අධිකාරි සාමන්ත චන්ද්‍රපාල මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසකට පහරදුන් බවත්, රාජකාරියට බාධා කිරීම කිරීම ඇතුළු චෝදනා හතක් ගොනුකර MC/509/24 යටතේ නඩු පවරන ලදි.






Be First to Comment