පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නොකළ වාර්තා එනම් එස්. අයි. ඉමාම් සහ ඒ. එන්. ජේ. ද අල්විස් වාර්තා දෙක අද (21) උදේ දහයට හෙළි කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
එස්. අයි. ඉමාම් වාර්තාව පසුගිය ජුනි 25 වැනිදා හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදී තිබුණු අතර, අල්විස් වාර්තාව පසුගිය සැප්තැම්බර් 09 වැනිදා භාරදී තිබිණි. ඉමාම් කමිටුව පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ආරක්ෂක අංශවල යම් අඩුපාඩුවක් සිදු වී ඇත්ද යන්න සොයා බැලීමට පත්කළ අතර අල්විස් කමිටුව පත්කර තිබුණේ චැනල් 4 වාර්තා වැඩසටහන මගින් අපේ බුද්ධි අංශවලට එල්ලවූ චෝදනා ගැන සෙවීම සඳහාය.
මේවා ප්‍රසිද්ධ කිරීමට ජනාධිපතිවරයාට ලබාදුන් කාලය අද උදෑසන 10න් අවසන් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. තමන් ළඟ ඇත්තේ එම වාර්තාවල පිටපත් බවත්, සත්‍ය වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇති බවත් ඔහු සඳහන් කරයි.
ඔහු ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබිණි.
“පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධ කිරීමට පැකිළෙන වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීමට මම ජනාධිපතිවරයාට ලබා දී තිබූ කාලය සඳුදා උදෑසන 10න් අවසන් වෙනවා. එතකොට සඳුදා උදේ 10.00 වනතුරුත් ජනාධිපතිවරයාට කාලය තියෙනවා. මේ වාර්තා ප්‍රසිද්ධ කරලා තමන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදුන්න වගකීම ඉටුකරලා තමන්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ අවදානම මඟහැර ගන්න. හැබැයි ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 වන වගන්තිය උල්ලංඝනය කරමින් සඳුදා උදෑසන වනවිටත් මේ වාර්තාව ලබාදීම පැහැර හැරියහොත් අනිවාර්යෙන් මම ඒ වාර්තා ඉදිරිපත් කරනවා.”
ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක ඇමැතිතුමා මේ සියල්ල දින තුනක් ඇතුළත මම ආණ්ඩුවට භාරදිය යුතුයි කියා තර්ජනය කළා. ආණ්ඩුවේ නීති උපදේශක ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මැතිතුමා රාජ්‍ය රහස් පනත යටතේ මට දඬුවම් කළ හැකියි කියා අනතුරු අඟවලා තියෙනවා.
මාලිමාවට වඩා රට පිළිගත් කීර්තිමත් ජනාධිපති නීතිඥවරුන් අපට සහාය දෙනවා. ඒ අය සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හෝ රාජ්‍ය රහස් පනත යටතේ මාව අත්අඩංගුවට ගැනීමට තිබෙන අවදානම ගැන අපි ගැඹුරින් අධ්‍යයනය කළා. 1955 අංක 32 දරන රාජ්‍ය රහස් පනත අධ්‍යයනය කළාම එතුමන්ලා තර්ජනය කරන අයුරින්ම වසර දාහතරක් දක්වා සිරගත කිරීමේ අවදානමක් තිබෙන බව අපි පිළිගන්නවා. නමුත් ජනතාවට ඇත්ත දැනගැනීමේ අයිතිය වෙනුවෙන් අපි ඒ අවදානම ගන්න සූදානම්.
අනුර කුමාර දිසානායක මන්ත්‍රීව සිටියදී පාස්කු වාර්තාව ප්‍රසිද්ධ කළ යුතු බව ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශයට සිරිල් ගාමිණී පියතුමන් සම්පූර්ණ එකඟතාව පළ කළා. දැන් වාර්තාව එළිදැක්වීම සම්බන්ධයෙන් බියට පත්වුණේ සමාජයේ ඇත්ත දැනගන්නවාට බය වෙලාද? මාලිමාවේ නායකයන් සමග එතුමන්ලාත් කතෝලික ජනතාව රැවටීමට ලක් කළාද කියන සාධාරණ සැකය මතු වෙනවා.
නමුත් සිරිල් ගාමිණී පියතුමනි මේ වාර්තාවල තියෙන ඇත්ත දැනගැනීමේ ඒකාධිකාරයක් ඔබතුමන්ලාට නැහැ. 2019 අප්‍රේල් 21 පත්තු වුණ බෝම්බ අටෙන් දෙකයි කතෝලික පල්ලිවල පත්තු වුණේ. තව බෝම්බ හයක් පත්තු වුණා. ඒ දෙකෙනුත් කතෝලික නොවන අය ඉන්නවා. ඒ නිසා මෙය සමස්ත ජාතික ප්‍රශ්නයක් මිස ප්‍රසිද්ධ කළ යුතු යටපත් කළ යුතු වාර්තාව තීන්දු කරන්න ඔබට අයිතියක් නැති බව ගෞරවයෙන් සිහිපත් කරනවා.
ඒ නිසා මේ වාර්තා නිසා මාව අත්අඩංගුවට පත් වුණත්, මට හිතෙනවා ඒ අවදානම දැන් ඉවරයි කියලා. මොකද මම දැනටමත් ප්‍රසිද්ධ කරලා ඉවරයි. මාව අත්අඩංගුවට පත් වුණත්, ඉම්රන් ඛාන් පාකිස්තානයේ සිරගෙදර සිට ඒ අයි තාක්ෂණයෙන් මැතිවරණය මෙහෙයවූ ආකාරයට නවීන තාක්ෂණය භාවිත කරමින් සිරගෙදර සිට මේ වාර්තා එළි දක්වන්න සූදානම් කරලා තියෙන්නේ. ඒ නිසා වාර්තාව ජනගත කිරීම කාටවත් නතර කරන්න බැහැ. ඕනෙනම් ජනගත කරන්නේ කවුද කියන එක තීරණය කරන්න ජනාධිපතිතුමාට අවස්ථාව තියෙනවා.
චතුර පමුණුව
Be First to Comment