Press "Enter" to skip to content

අය-වැයේදී රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනවා

එළැඹෙන අය-වැයේදී සැලකිය යුතු මට්ටමකින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමක් සිදු කරන බව කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) පැවසීය. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කිසිදු විරෝධයක් එල්ල කර නැති බවත් පුද්ගලයන්ගේ ජීවන තත්ත්වය සලකා බලා රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සිදු කරන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා පැවසුවේය. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද දීමට නියමිතව තිබූ පසුගිය සැප්තැම්බර් 04 වැනිදාට පෙර දින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවකයන්ගේ ඡන්දය අපේක්ෂාවෙන් රුපියල් 25,000ක වැටුප් වැඩි කිරීමක් සිදු කරන බවට යෝජනාවක් ඉදිරිපත් කළ බවත් එවකට ඔහුගේ නිල කාලය 2022 සිට රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමක් සිදු නොකළ බවත් ඒ මහතා පැවසුවේය.

2022 වසරේ සිට රාජ්‍ය සේවාවට බඳවා ගැනීම අත්හිටුවා තිබූ අතර අවස්ථානුකූලව රාජ්‍ය සේවාවට බඳවා ගැනීම් සිදු කිරීමට පසුගිය කාලයේ ගත් තීරණය ඉදිරියටත් ක්‍රියාවට නැංවීමට ආණ්ඩුව කටයුතු කරන්නේ යැයි ද නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *