Press "Enter" to skip to content

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තෝරන්න දැඩි උණුසුමක්

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වත්මන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ධුර කාලය මෙම වසරේ සැප්තැම්බර් මස අවසන් වීමට නියමිතව ඇති බැවින් ඊළඟ දියවඩන නිලමේවරයා සඳහා දැඩි උණුසුම් තත්ත්වයක් දැන් සිටම ඇතිව තිබේ.

වත්මන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා යළිත් වරක් දියවඩන නිලමේ ධුරය සඳහා තරග කිරීමට සූදානමින් සිටින අතර, මෙවර ඒ මහතා ජයග්‍රහණය කළහොත් 30 වසරක් දියවඩන නිලමේ ධුරය හෙබ වූ ප්‍රථමයා ලෙස ඔහු ඉතිහාසගත වනු ඇත.

වර්ෂ 2005දී එවකට දියවඩන නිලමේ ධුරය හෙබ වූ නෙරංජන් විජයරත්න මහතා පරාජය කරමින් මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ධුරයට පත් නිලංග දෑල මහතා දස වසරක ධුර කාලය නිමාවීමෙන් පසුව 2015 වසරේදී පැවති ඡන්දයෙන්ද පහසුවෙන් ජයග්‍රහණය කළේය.

ඒ අනුව ඒ මහතා මේ වන විට සිය පළමු හා දෙවැනි ධුර කාලයට අදාළව වසර 20ක් දියවඩන නිලමේ ධුරය හොබවා ඇත. පසුගිය වතාවේදී නාථ දේවාලයේ බස්නායක නිලමේ ගයාන් හීන්කෙන්ද මහතා තරගයට ඉදිරිපත්ව පරාජය විය. හීන්කෙන්ද මහතා පරාජය කරමින් නාථ දේවාල බස්නායක නිලමේ ඡන්දය ජයග්‍රහණය කළ සරත් බණ්ඩාරනායක මහතා මෙවර දියවඩන නිළමේ ඡන්දයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කර තිබෙන අතර ඔහු දශක දෙකකට වැඩි කාලයක් බස්නායක නිලමේවරයකු ලෙස කටයුතු කර ඇත.

ඔහු මෙවර දියවඩන නිලමේ ඡන්දයට ඉදිරිපත් වන බව මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක දැනුම් දුන් බව බණ්ඩාරනායක මහතා පවසයි.

මහනුවර ශ්‍රී කතරගම දේවාලයේ වත්මන් බස්නායක නිලමේ දමින්ද උඩුරාවණ මහතාගේ නම ද දියවඩන නිලමේ ධුරය සඳහා ඉදිරිපත් වන පුද්ගල නම් අතර කියවෙන අතර තමන් ඒ සඳහා ඉදිරිපත් වන බව ඒ මහතා මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොමැත.

උඩුරාවණ පරම්පරාවේ සාමාජිකයකු අවසන් වරට දියවඩන නිලමේ ධුරය හොබවා ඇත්තේ 1975 වසරේදී ය. ඒ මහතාගෙන් පසු නිශ්ශංක විජයරත්න මහතා එම ධුරයට පත් වූ අතර, 1985 සිට 2005 දක්වා වසර 20 ක් එම ධුරයේ කටයුතු කළේ ඒ මහතාගේ පුත් නෙරංජන් විජයරත්න මහතාය. දියවඩන නිලමේ ධුරය සඳහා සුදුස්සකු තෝරා පත්කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම මෙම වසරේ පැවැත් වෙන බව නිවේදනය වීමත් සමඟ එම ධුර කාලය අවස්ථා දෙකකට පමණක් සීමාවිය යුතු බවට කතාබහක් ද කරළියට පැමිණ තිබේ. පැරණි කන්ද උඩරට රාජධානියට අයත් පාලන ප්‍රදේශයේ රජමහා විහාරාස්ථානයන්හි විහාරාධිපතිවරු, භාරකාරවරු, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු 350ක පමණ පිරිසක් දියවඩන නිලමේ තෝරාපත් කර ගැනීම සඳහා ඡන්දය පාවිච්චි කිරීමට නියමිතය. අදාළ ප්‍රදේශවල පරිපාලන සේවයේ නියුතු කාන්තාවන්ට මෙහිදී ඡන්දය ලබාදීමේ හැකියාවක් නොමැති වීම විශේෂත්වයකි.

අසේල කුරුළුවංශ

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *