Press "Enter" to skip to content

ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට ගත හැකි සියලු තීන්දු ගන්නවා

වත්මන් ආණ්ඩුව රටේ ඉදිරි ගමන හා ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් ගත හැකි සියලු තීන්දු ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය .

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, ජාත්‍යන්තර රේගු දිනය නිමිත්තෙන් රේගු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ඊයේ (27) පස්වරුවේ පැවති උත්සවයට එක් වෙමිනි.

“සමෘද්ධිමත් දේශයක් ගොඩනැඟීමට කාර්‍යක්ෂම රේගු දෙපාර්තමේන්තුවක් ” යන තේමාව යටතේ මෙවර ජාත්‍යන්තර රේගු දිනය සැමරේ.

යුරෝපීය රටවල් 17ක සහභාගිත්වයෙන් එම රටවල් අතර රේගු සහයෝගිතාව සඳහා 1952දී රේගු සහයෝගිතා කවුන්සිලය ස්ථාපනය කරනු ලැබූ අතර ශ්‍රී ලංකාව 1967 වර්ෂයේදී එහි සාමාජිකත්වය ලබා ගත්තේය. 1994 වර්ෂයේදී මෙම රේගු සහයෝගිතා කවුන්සිලය ලෝක රේගු සංවිධානය වශයෙන් නම් කෙරිණි.

රේගු සහයෝගිතා කවුන්සිලයේ පළමු සැසිය 1953 ජනවාරි 26 වෙනි දින බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවැත්වීම නිමිත්තෙන් එම දිනය ජාත්‍යන්තර රේගු දිනය වශයෙන් නම් කර තිබේ. ඒ අනුව සෑම වර්ෂයකම ජනවාරි 26 වන දින ලෝකයේ සියලුම රටවල ඇති රේගු පරිපාලන ආයතන, ජාත්‍යන්තර රේගු දිනය උත්සවාකාරයෙන් සමරයි.

යුගයට ගැළපෙන ආයතනික ව්‍යුහයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යන ආයතනවල ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කරන බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

නීතියක් හෝ ආයතනයක් ස්ථිර ලෙස එකම ආකාරයෙන් පවත්වා ගෙන යා නොහැකි බවත්, නීතියක් හෝ ආයතනයක් යුගයේ තිබෙන අභියෝගවලට සරිලන ලෙස වෙනස් විය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය .

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *