විෂමතාව අවම කරමින් ගුණාත්මක අධ්‍යාපනයක් දරුවන්ට දෙන්නත්, සහකම්පනයෙන් යුතු පරිසරයට ආදරය කරන මානුෂීය ගුණාංගවලින් පරිපූර්ණ සමාජයට වගකියන ප්‍රජාවක් නිර්මාණය කිරීමත් රජයේ ප්රමුඛ අරමුණ බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසුරිය මෙණෙවිය පැවසුවාය.
අගමැතිනිය මේ බව පැවසුවේ ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් අරලියගහ මන්දිරයේදී ඇය හමු වූ අවස්ථාවේදීය. දිවයින පුරා පාසල් නියෝජනය කරන ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ නියෝජිතයෝ ජනාධිපති කාර්යාලය සහ පාර්ලිමේන්තුව නැරඹීමෙන් අනතුරුව අරලියගහ මන්දිරය නැරඹීමට ද සහභාගි වූහ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ශිෂ්‍යයන් ලෙස තමන් වෙත ඍජුවම බලපාන කාරණයක් බවත්, නව තාක්ෂණික ලෝකය සමඟ ඉදිරියට යෑමේදී අධ්‍යාපන ප්රතිසංස්කරණයෙන් සිදු කරන නව්‍යකරණය අතිශය වැදගත් බවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින බවත් ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ නියෝජිතයෝ පැවසූහ.
එහිදී අදහස් දැක්වූ අගමැතිනිය මෙලෙස කීවාය.
“නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පසුගියදා අපි පළමු ශ්‍රේණියෙන් ආරම්භ කළා. මේ වසරේ 6 ශ්‍රේණියට ඇතුළත් වන දරුවන් ඉදිරියේදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට ඇතුළත් කරගැනීමට සාකච්ඡා කරමින් යනවා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කරන්නේ නෑ. අපි උත්සාහ කරන්නේ අඩුපාඩු නැතිව විධිමත්ව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සිදු කරන්න. ඒ සඳහා ප්‍රධාන කුලුනු පහක් යටතේ අපි කටයුතු කරමින් යනවා. විෂමතාව අවම කරමින් ගුණාත්මක අධ්‍යාපනයක් දරුවන්ට දෙන්නත්, සහකම්පනයෙන් යුතු, පරිසරයට ආදරය කරන මානුෂීය ගුණාංගවලින් පරිපූර්ණ වගේම සමාජයට වගකියන ප්‍රජාවක් නිර්මාණය කිරීමත් රජයේ ප්රමුඛ අරමුණයි.”
මේ අවස්ථාවට නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ කසුන් ගුණරත්න මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහු ද, ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ නියෝජිතයෝ ද සහභාගි වී සිටියහ.






Be First to Comment