විදුලිබල උත්පාදනයේදී ඒකකයක් සඳහා වැය වන සාමාන්‍ය පිරිවැය රුපියල් 37 සිට රුපියල් 29 දක්වා අඩු කිරීමට රජය සමත් වී ඇතැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ප්‍රකාශ කළේය.
පුනර්ජනනීය බලශක්ති තාක්ෂණයන් වේගයෙන් යොදා ගැනීම මඟින් විදුලිබල උත්පාදන පිරිවැය අඩු කිරීම මඟින්, දිගු කාලීනව පාරිභෝගික විදුලි බිල අඩු කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම රජය පොරොන්දු වූ පරිදි වසර තුනක් ඇතුළත විදුලිබිල අඩු කිරීමට පියවර ගන්නා බවද අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසීය.
කුමාර ජයකොඩි මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ක්‍රී රවී කරුණානායක මහතා මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
‘විදුලි ඒකකයක් ජනනය කිරීමේ පිරිවැය අඩු නොකර විදුලි බිල අඩු කළ නොහැකියි. දැනට සිදු කරනු ලබන්නේ වැඩිපුර මිලදී ගෙන අඩුවෙන් විකිණීමයි. අපගේ සැලැස්ම එම අගය රුපියල් 25 දක්වා අඩු කිරීමයි. එසේ කිරීමෙන්, වසර 03ක් ඇතුළත විදුලි බිල 30%කින් අඩු කිරීමට පොරොන්දු වූ පරිදි අපි ක්‍රියා කරනවා.
විදුලි ජනන ධාරිතාව වැඩි කිරීම සඳහා, ජාතික පද්ධතියට වැඩි පුනර්ජනනීය බලශක්තියක් අවශෝෂණය කර ගැනීමට පියවර ගන්නවා. දිගුකාලීන ජනන සැලැස්මට අනුව, ජාතික සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ පද්ධතිය පුළුල් කිරීම, පුනර්ජනනීය බලශක්ති ගබඩා පද්ධති හඳුන්වාදීම, වයස්ගත විදුලි බලාගාර වෙනුවට තාප බලාගාර සහ ද්‍රව ස්වාභාවික වායු බලාගාර ඉදිකිරීම අනාගත ඉල්ලුම සපුරාලන අතර, දැනට ක්‍රියාත්මක වන ජල විදුලි බලාගාරවල ධාරිතාව වැඩි කරනවා.’








Be First to Comment