Press "Enter" to skip to content

වෘත්තීය සමිති රැසක් අද විරෝධතාවයේ

දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (23) දිනයේ දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ඊයේ (22) රැස්වු ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ මධ්‍ය විධායකය සහ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් එම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

සිය වෘත්තීය ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යාම සඳහා පවතින ගැටලු විසඳන ලෙස බලධාරීන් දිගින් දිගටම දැනුවත් කළද ඔවුන් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් වර්ජන ක්‍රියාමාර්ගයකට එළැඹීමට එම සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව දිවයිනේ සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද දිනයේ සේවයෙන් ඉවත්වීමේ දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් ශානක බෝපිටියගේ මහතා සඳහන් කළේය.

මේ අතර රාජ්‍ය අංශයේ විධායක නිලධාරී සේවා ගණයට අයත් ඉංජිනේරුවරුන්, වෛද්‍යවරුන්, පශු වෛද්‍යවරුන්, විශේෂඥ හා තාක්ෂණික නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති අද කොළඹ දී විරෝධතා ක්‍රියාමාර්ගයක් සංවිධානය කර තිබේ.

වෘත්තීය සමිති සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වීම හේතුවෙන් මෙම විරෝධතා සංවිධානය කර ඇති බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති එච්.ඒ.එල් උදයසිරි මහතා සඳහන් කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *