වසර 12කට වරක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව මල් බලන්න සති අන්ත දීර්ඝ නිවාඩුවත් සමඟ හෝර්ටන්තැන්නට විශාල පිරිසක් පැමිණි බව හෝර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ උද්‍යාන භාරකරු සිසිර රත්නායක මහතා පැවසීය.
නෙළුව ශාකයේ ඇතැම් වර්ග වසර 7ත් 12ත් අතර කාලයකදී වර්ධනය වී මල් හට ගන්නා අතර, නෙළුව ශාකය විනාශ වී යන නිසා මවු මරා උපන් මල ලෙස ද බොහෝ පරිසරවේදීහු මේ මල හඳුන්වති.
මෙරට නෙළුව විශේෂ 35ක් පමණ වාර්තා වන බවත්, එයින් විශේෂ 30ක් පමණ මෙරටට ආවේණික බවත්, හෝර්ටන් තැන්න, පට්ටිපොළ, ඔහිය, කිරිගත්පොත්ත, තොටුපොළකන්ද ආදි ප්‍රදේශවල බහුලව මේ දිනවල නෙළුව මල් පීපි ඇති ආකාරයත් එහි සංචාරය කළ අපට දැක ගත හැකි විණි.
මේ දිනවල හෝර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ කලාප කිහිපයකම සුදු, නිල්, දම් සහ රෝස ඇතුළු වර්ණ කිහිපයකින්ම නෙළුව මල් පිපී තිබේ.
2013දී මේ ආකාරයට නෙළුව මල් හෝර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ පිපී තිබු බවත්, යළිත් 2037දී මේ මල් හට ගන්නා බවත් පරිසරවේදීහු කියා සිටිති.
හෝර්ටන්තැන්න උද්භිද උද්‍යානයට දේශීය සංචාරකයන් විශාල පිරිසක් පැමිණීම හේතුවෙන් පට්ටිපොළ හෝර්ටන්තැන්න මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින නිසා එය පාලනය කිරීමට පොලිස් නිලධාරීන් රාජකාරි සඳහා යෙද වූ බව පට්ටිපොළ පොලීසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් ජයසිංහ මහතා පැවසීය.
Be First to Comment