Press "Enter" to skip to content

විභාග පැවැත්වෙන සහ ප්‍රතිඵල නිකුත්වන දින නිශ්චිතයි

විභාග පැවැත්වෙන සහ ප්‍රතිඵල නිකුත් කරන දින නව අධ්‍යාපන ප්‍රතිපත්තියට අනිවාර්යයෙන් ඇතුළත් කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අධ්‍යාපනයට සම්බන්ධ සියලු කරුණුවලට අවශ්‍ය විසඳුම් ද ඊට ඇතුළත් කර ඇතැයි හෙතෙම කීවේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (28) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කීවේය.

තමා අධ්‍යාපන ඇමැතිවරයාව සිටි වකවානුවේදී රට සාමාන්‍ය තත්ත්වයේ පැවති බැවින් ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ ආදි ප්‍රධාන විභාග 3හි ප්‍රතිඵල කඩිනමින් නිකුත් කළ බවත් කොවිඩ් වසංගතය හේතුවෙන් සමස්ත අධ්‍යාපන ජාලයම අවුලකට ඇදවැටුණු බවත් කියා සිටි ඒ මහතා ඉන්පසු විවිධ පාර්ශ්ව මඟින් විභාග පැවැත්වීම පිළිබඳ විවිධ මත දරමින් විවිධ ප්‍රචාරණයන්, උද්ඝෝෂණ සිදු කර උසාවි නියෝග ගැනීම් ආදිය හේතුවෙන් මේ අක්‍රමවත් තත්ත්වය ඇති වී යැයි ද කීවේය.

හැකි ඉක්මනින් විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සැකසීම සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැතිවරයා හා විභාග දෙපාර්තමේන්තුව උනන්දුවෙන් කටයුතු කරන බවත් විශේෂඥයන් 25 දෙනකුගෙන් යුතු කැබිනට් අනුකාරක සභාවක අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන නව ජාතික ප්‍රතිපත්තියක් අධ්‍යාපනයට ක්‍රියාත්මක වන බවත් ඒ මහතා පැවසීය.

කිසිවකුටත් පාලනය කළ නොහැකි හේතු සාධක මත වරින්වර ප්‍රමාදයන් සිදුවූ බවද ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *