Press "Enter" to skip to content

ජෝර්දාන ඇඟලුම් සේවිකාවන්ට අමාත්‍යංශයෙන් නීතිඥ සහාය

ජෝර්දානයේ අසිල් යුනිවර්සල් සහ හයි ඇපරල් යන ඇඟලුම් කර්මාන්තශාලා වසා තැබීම නිසා එහි සේවකයන් ඉවත් කිරීම හේතුවෙන් ඇති වී තිබෙන තත්වය සම්බන්ධයෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට හා ජොර්දානයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාල නිලධාරින්ට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස උපදෙස් දුන්නේය.

අදාළ ඇඟලුම් කර්මාන්තශාලා වසා දැමීම හේතුවෙන් සේවකයන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් ජෝර්දානයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය සහ එහි කම්කරු සුභසාධන අංශය එක්ව එරට කම්කරු දෙපාර්තමේන්තු බලධාරින් සමග සාකච්ඡා කළ බවත් එහිදි අදාල බලධාරීන් මෙම ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට පිටත් කිරිම සඳහා ගුවන් ටිකට් පත් දිය හැකි බව ප්‍රකාශ කර ඇති බවත් සේවා නියුක්ති කාර්යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ශ්‍රි ලංකා තානාපති කාර්යාලය සහ එහි කම්කරු සුභසාධන අංශය ඉන් සෑහීමට පත් නොවීම නිසා පසුව ඉන්දිය හා බංග්ලාදේශ යන රටවල් නියෝජනය කරන ජෝර්දානයේ සිටින තාතාපතිවරු සමග එක්වි එරට කම්කරු අමාත්‍යාංශ නිලධාරින්ගෙන් ගුවන් ටිකට් පත්වලට අමතරව මෙම සේවකන්ගේ හිඟ වැටුප් හා දීමනා සමග සමාජ රක්ෂණ අරමුදලෙන් වන්දි දෙන ලෙස ඉල්ලීමක් කළ බවද එම නිලධාරියා සඳහන් කළේය.

මෙම ශ්‍රමිකයින්ට හිමි හිඟ වැටුප්, දීමනා හා සමාජ ආරක්ෂණ වන්දි මුදල් ලබාගැනීම සඳහා ජෝර්දානයේ නීති උපදේශන ආයතනයක සහාය ගන්නා ලෙස කාර්යාංශ සභාපති ඒ.ඒ.එම්.හිල්මි මහතා තානාපති කාර්යාලයේ නිලධාරීන්ට උපදෙස් දුන් බවද එම නිලධාරියා වැඩිදුරටත් කීය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *