Press "Enter" to skip to content

“සණස ඉදිරිය” ක්‍රියාන්විතයේ තවත් එක් පරිච්ඡේදයක් ගාල්ල නගරයෙන් ආරම්භ වෙයි

ශ්‍රී ලංකාවේ වඩාත් සාර්ථක හා පිළිගත් “සණස” නම් වූ දැවැන්ත ප්‍රජාමූල සංවිධානයේ ගරු නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මැතිතුමාගේ උදාර සංකල්පයක් වන “සණස ඉදිරිය” නම් ජාතික වැඩසටහනට අදාළව දකුණු පළාතේ සණස සමිති දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය 28 වන දින ගාල්ල සමෝදා උත්සව ශාලාවේදී පැවැත්විය. මේ සඳහා සණස නිර්මාතෘ පී.ඒ. කිරිවන්දෙණිය මැතිතුමා ප්‍රධානව දකුණු පළාතේ සණස සමිති සභාපතිවරුන්, අධ්‍යක්ෂකමණ්ඩල, කාරකසභා නියෝජිතයන්, කළමනාකරුවන් ප්‍රමුඛ දකුණු පළාත් සණස සමිති සාමාජික මහත්ම මහත්මීන් රැසක් සහභාගි වී සිටියහ.

‘වැය අඩු කරමු – අය වැඩි කරමු’ යන තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම සණස සමිති 1250ක් සංවර්ධනය කිරීම තුළින් ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ විශේෂත්වය වන්නේ ගම්මාන 5000ක සංවර්ධන ව්‍යාපෘති 10,000ක් ආරම්භ කිරීමත් ඒ හරහා දිවයින පුරා ඍජු හා වක්‍ර රැකියා අවස්ථා 50,000 ක් නිර්මාණය කිරීමත් තුළින්, පවුල් 300,000කට වැඩි පිරිසකගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ දැවැන්ත ක්‍රියාන්විතයකට මඟ පාදා දීමයි.

එමෙන්ම මෙහි තවත් එක් වැදගත්කමක් වන්නේ සෑම සමිතියකින්ම තරුණ සමාජිකයන් කිහිප දෙනෙකුගෙන් යුත් ව්‍යාපෘති කමිටු ගොඩනංවා ඒ හරහා තරුණ ප්‍රජාව ව නවීන තාක්ෂණයන් මුසු වූ ක්‍රමවේදයන් වෙත පුහුණු කිරීමට සැලසුම් සකස් කිරීම තුළින් රටේ අනාගත පරපුර යහපත් නායකත්වයෙන් යුත් දැනුමෙන් සන්නද්ධ පුරවැසියන් ලෙස රටේ අනාගතයට සූදානම් කරවීමයි.

ඒ අනුව, මෙම අවස්ථාව සඳහා සහභාගි වෙමින් සණස නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මැතිතුමා පවසා සිටියේ, “මෙම දැවැන්ත ව්‍යාපෘතියට සමගාමීව තරුණ ප්‍රජාව දැනුවත් කිරීමට, පුහුණු කිරීමට මෙන්ම රාජ්‍ය අංශ එකට එකතු කිරීමේ අභිප්‍රායෙන් මේ වනවිට සණස අධ්‍යාපන මණ්ඩපය හා සණස රක්ෂණ සමාගමේ මූලිකත්වයෙන් අධ්‍යාපන මධ්‍යස්ථාන 7ක් දිස්ත්‍රික්ක 25 ඉලක්ක කරගනිමින් මේ වනවිට ගොඩනගා ඇති බවත් ඒ තුළින් වර්තමානයේ රට පත්ව ඇති තත්ත්වයෙන් මිදී ජනතාවගේ ආර්ථික තත්ත්වය යහපත් ලෙස ගොඩනැංවීමට මෙන්ම ජනතාව දැනුම, ආකල්ප හා කුසලතා තුළින් පෝෂණය කරමින් රටට ශක්තියක් වීමට මෙම ව්‍යාපෘතිය මඟින් බලාපොරොත්තු වන බවත්” ය.

ශ්‍රී ලාංකේය ග්‍රාමීය ජන ජීවිතය නගා සිටුවීමට රටේ තරුණ ජවය ශක්තිමත් ඉලක්කයක් කොටගනිමින්, ඔවුන් වෙනුවෙන්ම එකම සන්නාමයක් යටතේ රැකියා තෝතැන්නක් නිර්මාණය කර රටට දායාද කිරීමට සණස ව්‍යාපාරය එදා මෙදා තුර මහත් දායකත්වයක් සපයා ඇත. ඒ අනුව සණස නායක පී. ඒ. කිරිවන්දෙණිය මැතිතුමන් විසින් සණස මහා සංගමය, සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් පී.එල්.සී, සණස ජෙනරල් ඉන්ෂුවරන්ස්, සණස කැම්පස්, සණස ග්‍රීන් මාර්ට් පුද්ගලික සමාගම, සණස මීඩියා නෙට්වර්ක්ස් ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනය, සණස උත්තමාවී සමාගම, සණස ඉංජිනේරු සහ ඉදිකිරීම් සමාගම, සණස ආරක්ෂක සේවා සමාගම වැනි ආයතන රැසක් රටේ උන්නතිය වෙනුවෙන් දායද කරමින් රටේ ජනතාවගේ අවශ්‍යතාවන් එකින් එක සපුරමින් සිටී. එවන් වූ දැවැන්ත ව්‍යාපාර ජාලයක තවත් එක් දැවැන්ත පරිච්චයක් ලෙස මෙම වැඩසටහන හැඳින්විය හැකියි.

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *