Press "Enter" to skip to content

ධර්මලිංගම් ජාත්‍යන්තර පොලිස් කොමිසමේ කළාපීය අණ දෙන නිලධාරී ධුරයට

TMH සමාගම් සමූහයේ සහ තවත් ප්‍රමුඛ ව්‍යාපාර රැසක සභාපති ධුරය දරන ආචාර්ය ධර්මලිංගම් දර්සනන් මහතා ජාත්‍යන්තර පොලිස් කොමිසමේ ශ්‍රී ලංකාව සඳහා වන ලුතිනන් කර්නල් සහ කළාපීය අණ දෙන නිලධාරී ලෙස පත් කර තිබේ. ජාත්‍යන්තර පොලිස් කොමිසමේ කටයුතු සහ වෙනත් මානුෂීය වැඩසටහන් සඳහා සපයන කැපී පෙනෙන දායකත්වය අගයමින් ඔහුට එම පත්වීම ප්‍රදානය කර ඇත. ඊට අදාළ නිල දිවුරුම් දීමේ උත්සවය පිලිපීනයේ මැනිලා නුවරදී පැවැත්විණි. ජාත්‍යන්තර පොලිස් කොමිසමේ උත්තරීතර අණ දෙන නිලධාරී රොබර්ට් බයිසන් ඇතුළු නිලධාරීහු සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී වූහ. ජාත්‍යන්තර පොලිස් කොමිසම යනු ඇමෙරිකා එක්සත් ජනපදය, පිලිපීනය, ඕස්ට්‍රේලියාව, තායිලන්තය, වියට්නාමය, නවසීලන්තය සහ දකුණු කොරියාව යන රාජ්‍ය හත අතර ඇති කර ගත් ගිවිසුමකට අනුව ජාත්‍යන්තර නීතිය යටතේ පිහිටවූ ආයතනයකි. ජාත්‍යන්තර යුක්ති අධිකරණයේ සහ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නියෝජිතායතනයක් ලෙස ක්‍රියාත්මක වන එය පැරාමිලිටරි සංවිධානයක් ලෙස ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන ඇත.

ශ්‍රී ලාංකිකයෙකු වන ආචාර්ය දර්සනන් බහු ජාතික සමාගම් රැසක කැපී පෙනෙන වර්ධනයක් ඇති කිරීමට පුරෝගාමී වූ අත්දැකීම් බහුල ප්‍රධාන විධායක නිලධාරීවරයෙකි. ඔහු මදර් කෙයා ඉන්ටර්නැෂනල් ගෝලීය පදනමේ නිර්මාතෘ සහ විධායක සභාපති ලෙසද කටයුතු කරයි. බ්ලූ ලේක් වෝටර්, රොක්ස්බරි ඉන්ටර්නැෂනල්, ග්‍රීන්වැලි ඇග්‍රෝ, සිලෝන් අයිලන්ඩ් ට්‍රැවල්ස්, සිලෝන් අයිලන්ඩ් ජෙම්ස් සහ Blandtrave & URS (BT) වැනි සමාගම් රැසකද තනතුරු හොබවන ඔහු South Asian Iconic Federationහි සභාපති සහ අධ්‍යක්ෂ ලෙසද කටයුතු කරයි. එක්සත් ජනපදයේ සාමය පිළිබඳ ජෝර්ජ් වොෂින්ටන් විශ්ව විද්‍යාලයෙන් සහ පොදු රාජ්‍ය මණ්ඩලීය සාම විශ්ව විද්‍යාලයෙන් මූල්‍ය කළමනාකරණය සහ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ආචාර්ය උපාධි දෙකක් ලබා ඇති ඔහු පරිගණක මෘදුකාංග හා දෘඩාංග ඉංජිනේරුකරණ, ව්‍යාපාර කළමනාකරණ, මානව සම්පත් කළමනාකරණ, අලෙවි කළමනාකරණ, බැංකුකරණ සහ මූල්‍ය ඩිප්ලෝමාද ලබා ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *