Press "Enter" to skip to content

ඉල්ලා අස්වීම රනිල්ගේ කුමන්ත්‍රණයේ දිගුවක්

අජිත් මාන්නප්පෙරුම මහතා රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත්කළ යුතුයි කියන මතයේ සිටි බවත් ඔහු සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණයට සක්‍රීය දායකත්වයක් ලබා නොදුන් අතර ඔහුගේ ඉල්ලා අස්වීම රනිල් වික්‍රමසිංහ කුමන්ත්‍රණයේ දිගුවක් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවැසීය.

සමගි ජන සන්ධාන කාර්යාලයේ දී ඊයේ (15 දා) දින පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව කීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය.

පවතින අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ජනතාවට පීඩාවට පත්වෙලා තිබෙනවා. ඒ වගේම ඔවුන්ට පානීය ජලය ලබා ගැනීමට ආහාරපාන ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවෙලා තිබෙනවා. පවතින අධික වර්ෂාව හේතුවෙන් එම දිස්ත්‍රික්කවල ඇති වී තිබෙන ගංවතුර තත්ත්වය නිසා ජනතාවගේ ජන ජීවිතය සම්පුර්ණයෙන්ම අඩාල වෙලා තිබෙනවා. කෙසේ නමුත් ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා වන රජයේ මැදිහත්වීම ඉතාම අවම මට්ටමක තමයි පවතින්නේ. ගංවතුරෙන් පීඩාවට පත්වුණ ප්‍රදේශ නිරීක්ෂණය කිරීම සඳහා රජය නියෝජනය කරන කිසිදු දේශපාලඥයෙක් එම ස්ථානවලට නොගිය බවට අපට තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. කෙසේ නමුත් ගංවතුරෙන් පීඩාවට පත්වුණ ජනතාව වෙනුවෙන් අපට කළ හැකි උපරිම සේවාව ලබාදීමට කටයුතු කරනවා.

අපි රජයෙන් ඉල්ලා සිටිනවා ගංවතුරෙන් පිඩාවට පත් ජනතාවට කඩිනමින් සහන ලබාදීමට කටයුතු කරන්නැයි කියලා. රජයේ නිලධාරීන් ගං වතුරින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට සම්බන්ධ වන විට රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් වෙන්නේ මහජන නියෝජිතයින් අවශ්‍ය දේශපාලන නායකත්වය ලබා දුන්නොත් පමණයි. නමුත් ඒ දේශපාලන නායකත්වය රටට අහිමි වෙලා තිබෙනවා. කෙසේ නමුත් මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වන ඒ අපේක්ෂකයෝ අද හොයාගන්නවත් නැහැ.

ඒ වගේම ජාතික ජන බලවේගය ප්‍රකාශ කළා පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ යළි ආරම්භ කරනවා කියලා. ඒ වගේම පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වපු රාජ්‍ය නිලධාරීන් නැවත සේවයට වාර්තා කිරීමටත් ජාතික ජන බලවේගය කටයුතු කර තිබෙනවා. එය හොඳ වැඩක්. නමුත් වර්තමාන ආණ්ඩුව හරහා පාස්කු ප්‍රහාරය පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් සිදුවනවා දැයි කියන සැකය ජනතාව තුළ පවතිනවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට බලය ලබාගෙන සතියක් ඇතුළත දඬුවම් දෙන බව තමයි ජාතික ජන බලවේගය ප්‍රකාශ කළේ. නමුත් එවැනි දෙයක් සිදුවන බවක් පෙනෙන්නට නැහැ. පාස්කු ප්‍රහාරය පිළිබඳව දැඩි අවධානයක් යොමු කර හැකි ඉක්මනින් එම පරීක්ෂණ නැවත ආරම්භ කර පාස්කු ප්‍රහාරයට වගකිවයුතු පුද්ගලයන් නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන්නැයි අපි රජයෙන් ඉල්ලා සිටිනවා.

මෙවර මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කර තිබෙන අපේක්ෂකයින් සිටින ප්‍රදේශයවත් ජනතාව දන්නේ නැහැ. ජාතික ජන බලවේගය ඇතැම් අපේක්ෂකයන් තරගවදින දිස්ත්‍රික්කයේ පදිංචි අපේක්ෂකයන් නෙවෙයි. ජනතාව පක්ෂයකට ඡන්ද පාවිච්චි කරනවා වගේම පුද්ගලයාටත් මනාපයක් ලබාදීලා තමයි ඡන්දය පාවිච්චි කරන්නේ. එතකොට ඔබගේ වගකීම තමයි සුදුසුම අපේක්ෂකයාට ඡන්දය භාවිතා කරලා ඔවුන්ව පාර්ලිමේන්තුවට පත් කිරීම. එය මේ රටේ ජනතාවගේ වගකීමක්. මෙවර මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ කටයුතු ඉටු කළ හැකි පුද්ගලයින් මහජන නියෝජිතයන් ලෙස පත්කර ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අජිත් මාන්නප්පෙරුම මහතා රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනාධිපති කරවන්න තමයි මුල ඉඳලම කටයුතු කළේ. සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අජිත් මාන්නප්පෙරුම මහතා සක්‍රීයව දායකත්වය ලබා දුන්නේ නැහැ. නමුත් සමගි ජන බලවේගය අජිත් මාන්නප්පෙරුම මහතාට නාමයෝජනා ලබාදීමට කටයුතු කළා. නාමයෝජනා භාරදීලා ඡන්දය ඉල්ලන්න නොහැකි බව ඔහු ප්‍රකාශ කිරීම රනිල් වික්‍රමසිංහ මහතාගේ කුමන්ත්‍රණයේ දිගුවක් ලෙස තමයි අපි දකින්නේ. ඔහුට කිසිදු බාධාවකින් තොරව මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීමේ හැකියාව තිබුණා. මහ මැතිවරණයෙන් පරදින බව දන්නා නිසා තමයි ඔහු දැන් සජිත් ප්‍රේමදාස මහතාට සහ සමගි ජන බලවේගයට පහර එල්ල කරමින් විවිධ ප්‍රකාශ නිකුත් කරන්නේ. අජිත් මාන්නප්පෙරුම මහතාට නාමයෝජනා ලබාදීමට සජිත් ප්‍රේමදාස මහතා අවසරයත් ලබා දුන්නා.

අකිත පෙරේරා

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *