Press "Enter" to skip to content

මන්නාරම පාසල් අවට විශේෂ ආරක්ෂාවක්

පසුගිය දිනක මන්නාරම ප්‍රදේශයේ ළමයින් දෙදෙනෙකුට පැහැරගෙන යාමට උත්සාහ කල වෑන් රථයකින් පැමිණි පිරිසක් ළමයින්ගේ කෑ ගැසීමත් සමඟ පලාගොස් තිබෙන බව පොලිසිය සඳහන් කරයි.

මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් පැහැර ගැනීමේ සංවිධානාත්මක උත්සාහයක් තිබෙන බවට ලද තොරතුරකට අනුව පාසල් අසළ සහ අවට මාර්ගවල විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පියවර ගෙන තිබේ.

මන්නාරම පොලිසිය පවසන්නේ පසුගිය සෙනසුරාදා දින ආගමික කටයුත්තක් සඳහා පල්ලියට යන අවස්ථාවේදී එක් සිසුවෙකු පැහැර ගැනීමේ උත්සාහයක් තිබූ බවට පොලිසියට පැමිණිල්ලක් ලැබුණු බවයි.

ඊට අමතරව පසුගිය සඳුදා, දිනයේදීද තවත් පැමිණිලි 2ක් වාර්තා වී ඇත්තේ වෑන් රථයකින් පැමිණි පිරිසක් පාසල් සිසුන් දෙදෙනෙකුට කිසියම් ආහාරයක් ලබාදීමට උත්සාහ කළ අවස්ථාවේ අදාළ සිසුන්ගේ කෑගැසීම හේතුවෙන් වෑන් රථයේ පිරිස පළා ගිය බවයි.

කෙසේ වෙතත් අදාළ ප්‍ර දේශයේ CCTV කැමරා දර්ශන පරීක්ෂා කළද මෙවැනි සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී නොමැති බව මන්නාරම පොලිසිය සදහන් කරයි.

එමෙන්ම අදාළ ප්‍රදේශවලින් කිසිදු පැහැරගැනීමක් සිදුවී නොමැති බවද පොලීසිය තහවුරු කරයි.

කෙසේ වෙතත් මව්පියන් විසින් මන්නාරම පොලිස් ස්ථානයට සහ පාසල්වල විදුහල්පතිවරුන්ට කර තිබූ පැමිණිලි අනුව පොලිසිය පාසල් ළමුන්ට විශේෂ ආරක්ෂාවක් ලබා දීමට පියවර ගෙන තිබේ.

මේ අතර, මෙම පාසල් ළමුන් පැහැරගැනීමට තැත්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ පතුරුවන තොරතුරු පිළිබඳවද පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *