Press "Enter" to skip to content

පියාගේ වෙළෙඳ සැලේ කොපර් බිවු දරුවා මරුට

දීපවාලී අවුරුදු සමරමින් නෑදෑ නිවසකට යෑමට සූදානම්ව සිටි මව පියා අතර සිටි වයස අවුරුදු දෙකයි මාස එකොළහක පිරිමි දරුවෙකු පියාට අයත් රන් භාණ්ඩ වෙළඳ සැලක තිබූ රන් ඔපදැමීමට ගන්නා (කොපර් අම්ලය)රසායනික දියර වර්ගයක් පානය කිරීමෙන් එම දරුවා මිය ගොස් ඇති බව ගම්පොළ ගලහා පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ගලහා දෙල්තොට පදිංචි ප්‍රදීපන් රත්නීස් නැමති දරුවායි. දරුවාගේ පියා රාජමනී ප්‍රදීපන් (අවුඃ38) යන අය දෙල්තොට නගරයේ රන්භාණඩ වෙළෙඳ සැලක් පවත්වාගෙන යනු ලබයි. ඔහුගේ බිරිඳ වන අල්ලිරාණි (අවුඃ30) යන අය සිය දරුවන් තිදෙනා සමඟ අවුරුදු නෑදෑ ගමන් යෑම සඳහා සවස පහට පමණ මෙම වෙළඳ සැල වෙත පැමිණ ඇත. මොවුන් කතා බස් කරමින් සිටියදී කුඩා දරුවා ඒ අසල තිබූ රන් භාණ්ඩ පිරිසිදු කිරීමට ගන්නා කොපර් අම්ලය පානය කර ඇත. එසැණින්ම එම දරුවා බිම වැටී ඇති අතර මොවුන් දරුවා දෙල්තොට රෝහලට රැගෙන ගොස් තිබේ. එහිදී දෙල්තොට රෝහලේ වෛද්‍යවරුන් දරුවා බේරා ගැනීමට දැඩි වෙහෙසක් ගත්තද ටික වේලාවකින් දරුවා මියගොස් තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා දේහය පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගිය අතර විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ආර්.පී. ජයසූරිය මහතා විසින් 02 දින විවෘත තීන්දුවක් දෙනු ලැබීය. අනතුරුව එදිනම සිරුර දෙල්තොට නිවසට රැගෙන විත් සවස භූමදානය කරනු ලැබීය.

ගලහා පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ගුණසේකර මහතාගේ උපදෙස් මත පොලිස්‌ සැරයන් 73168 රත්නායක පරීක්ෂණ සිදු කළේය.

ගම්පොළ – සුරංග දිල්හාන්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *