වී සහ සහල් වෙළෙඳපොළ මිල පාලනය පිළිබඳ කතා බහක් මේ දිනවල දක්නට ලැබෙයි. අතීතයේ සහලින් ස්වයංපෝෂිතව තිබූ ශ්‍රී ලංකාවේ සහල් නිෂ්පාදනය හා බෙදාහැරීම් කටයුතු වෙළෙඳ මාෆියාව අතට පත්ව තිබීමෙන් දුක් විඳින්නේ සාමාන්‍ය ජනයායි. අපේ ප්‍රධාන ආහාරයට එක් කරන සහල් මිල පාලනය කිරීමට ඇති හැකියාවන් සහ ක්‍රමවේද පිළිබඳ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක ඩබ්.එච්. දුමින්ද ප්‍රියදර්ශන සමඟ කළ විශ්ලේෂණාත්මක විවරණයක් ඇසුරින් මෙසේ දක්වමු.
දැනට පවත්නා සහල් වියදම් තත්ත්වයන් පිළිබඳ විශ්ලේෂණය කළහොත් ?
අද වන විට ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු දත්ත අනුව පාරිභෝගිකයෙකුගේ මාසික පුද්ගල වියදමින් 35%ක් ආහාර සඳහා වැය කරන විට 65% ක්ම වැය කරනුයේ ආහාර නොවන භාණ්ඩ හා සේවා සඳහායි. මෙය ග්‍රාමීය මෙන්ම වතු අංශයන්හි 50% බැගින් බෙදී යයි. මෙම ආහාර සඳහා වන වියදමින් 14% කට ආසන්න ප්‍රමාණයක් සහල් සඳහා ද, එළවළු සඳහා 10% ක්ද ,සකස් කළ ආහාර සඳහා 12% ක් ද, පොල් සඳහා 6%ක් ද, කිරිපිටි සඳහා 8.% ක් , සහ මාළු සඳහා 9.5% ක්ද ලෙස වැය කරයි. වාර්ෂිකව පුද්ගලයෙකු සහල් සහ සහල් ආශ්‍රිත නිෂ්පාදන කි.ග්‍රෑ. 115කට ආසන්න ප්‍රමාණයක් පරිභෝජනය කරයි. ඒ අතරතුර අවම වශයෙන් වසරකට පුද්ගලයෙකු සහල් සඳහා පමණක් අවම වශයෙන් රුපියල් 25,000ක පමණ මුදලක් වැය කරයි.
ගොවි පවුල් ලක්ෂ 16ක් පමණ වී ගොවිතැනේ නියැළී සිටිනවා. මෙම වගා බිම් ප්‍රමාණයෙන් වර්තමානය වනවිට 75% ක් පමණම රතු සහ සුදු නාඩු වී වගාව සිදුවන අතර 25% ක සම්බා, කීරි සම්බා මෙන්ම අනෙකුත් සාම්ප්‍රදායික වී වර්ග වගා කෙරෙති. පරිභෝජනය ද මේ අයුරින්ම බෙදී යන අතර කීරි සම්බා සහ සම්බා වැඩිපුරම පරිභෝජනය බස්නාහිර පළාත තුළ සහ අනෙකුත් ප්‍රධාන නගරාශ්‍රිත ප්‍රදේශයන් සිදුවෙනවා.
වී සහ සහල්වලට තාර්කික පදනමකින් යුක්ත මිලක් පැවතිය යුතුද ?
වී වගාව සඳහා සිදුකරන ආයෝජනයන්හි අපේක්ෂිත ප්‍රතිඵල සමාජයේ සෑම ජන කොටසකටම ගෙනයාමට නම් මේ තුළින් ලැබෙන අවසන් පාරිභෝගික ද්‍රව්‍ය වන සහල් සඳහා වී නිෂ්පාදනය සිදු කරනු ලබන සෑම කන්නයක්ම ආරම්භ වන විට වී සඳහා මෙන්ම සහල් සඳහා ද නිසි පදනමකින් යුතුව මිල තීරණය කළ යුතුයි. රජය ඒ ඒ කන්න සඳහා නිෂ්පාදන වියදම පදනම් කර ගනිමින් ඒ ඒ වී වර්ග සඳහා සහතික මිල ගණන් තීරණය කරන අවස්ථාවේදී අවම වශයෙන් එම කන්නයට අදාළ වන පරිදිවත් සහල් වර්ග සඳහා ද උපරිම සිල්ලර මිල ගණන් ලබාදිය යුතුමය. මෙම සහල් මිල ගණන් තීරණය කිරීමේදී එක් වර්ගයක් පමණක් ඉලක්ක කර නොගෙන වෙළෙඳපොළේ අලෙවි වන සහල් වර්ග අනුව එනම් නාඩු, කැකුළු, සම්බා, කීරි සම්බා වැනි සහල් වර්ග සඳහා නිෂ්පාදන වියදම් පදනම් කරගෙන වෙන වෙනම මිල ගණන් ලබා දිය යුතුය. එසේ නොමැති වුවහොත් එම අතාත්වික මිල ගණන් ඉදිරි කන්නයන්හි නිෂ්පාදන වගා බිම් ප්‍රමාණයන් වෙනස්වීමට සෘජුවම බලපායි. එනම් මෙම වර්ගයන්හි ඒකක අස්වැන්න, නිෂ්පාදන මිල ගණන් වෙනස් බැවින් සහල් වෙළෙඳපොළ අසමතුලිතතාවකට ඍපුවම බලපානු ඇත. මන්ද දැනට කන්න කිහිපයකට පෙර රජය විසින් නාඩු වී වර්ගය සඳහා පමණක් මිල නියම කිරීම තුළ ඉන්පසු කන්නයේ වගාවට බලපෑ අතර එය වෙළෙඳපොළ සහල් අසමතුලිතතාවට බලපාන ලදි. එසේම මෙම මිල ගණන් තීරණය කිරීමේදී කැකුළු සහ නාඩු යන වර්ග දෙකට ඒවායේ සහල් කිලෝවකට වැය වන නිෂ්පාදන මිල පදනම් කරගෙන මිල ගණන් සැකසිය යුතුය. මන්ද නිෂ්පාදන මිල ගණන් අනුව නිරන්තරයෙන්ම කැකුළු සහල් මිල ගණන් නාඩු මිලට වඩා පහළින් තිබිය යුතුය. එසේ නොමැතිනම් වෙළෙඳපොළ මිල ගණන් විකෘතිතාවයක් ඇතිව එක් සහල් වර්ගයක් හිඟවනු ඇත. උදාහරණයක් ලෙස වර්තමානයේ සහල් මිල තීරණය කිරීමේදී ඇති වූ අතපසුවීමකදී තැම්බූ සම්බා සහල් කිලෝවකට පමණක් රුපියල් 230.00ක මිලක් තීරණය කිරීමේ දී සම්බා කැකුළු සහල් සඳහා මිලක් ලබා නොදීම හේතුවෙන් අද එම සම්බා කැකුළු සහල් විවෘත වෙළෙඳපොළ තුළ විශේෂයෙන් සුපිරි වෙළෙඳසල් තුළ කිලෝවක් රුපියල් 260.00ක් වැනි මිලකට අලෙවි වේ. ඒ සඳහා කිසිදු නීතියක් ක්‍රියාත්මක කළ නොහැකි වී ඇත. මන්ද එම සහල් වර්ගය සඳහා පාලන මිලක් නොමැත. එම නිසා මෙම මිල ගණන් ඉදිරිපත් කිරීමේදී සමස්ත ආර්ථිකයටම බලපාන සංවේදී කරුණු බැවින් විෂය දැනුම ඇති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහාය ඇතිව පර්යේෂණ අත්දැකීම් සහිතව සියලු කරුණු අධ්‍යයනය කර මිල ගණන් සැකසිය යුතුය. වී මිල මෙන් දෙගුණයකින් සහල් වෙළෙඳපොළ මිල පවතින්නේ නම් ඒ තුළ අතාත්වික තත්ත්වයක් නොමැති සාධාරණ සහල් මිලක් ලෙස දැක්විය හැකිය. නමුත් අස්වනු සමය තුළ ඉතා අඩු මිලකට වී ගබඩා කර අස්වනු රහිත කාලසීමාවන්හි පවතින වී මිල ගණන් සමඟ සහල් මිල ගැළපීම සාධාරණ නොවේ. එසේම ප්‍රශ්නයක් ඇතිවීම කලින් හඳුනාගෙන ඒවා විසඳීම සඳහා නව තාක්ෂණය භාවිත කිරීම, නවීන දත්ත පද්ධතියක අවශ්‍යතාව ජනාධිපතිතුමා හා අගමැතිතුමිය ප්‍රමුඛ රජය මේ වන විටත් තේරුම ගැනීම අතිශය අගය කළ යුතුයි. ඩිජිටල්කරණය කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විධිමත් දත්ත පද්ධතියක අවශ්‍යතාව වර්තමාන සහල් ප්‍රශ්නය තුළ මැනවින් කියාපානවා. රට තුළ නිෂ්පාදනය ප්‍රමාණවත් ව පැවතිය ද ඒවා කුමන තැන්වල ගබඩා කර තිබෙන්නේද යන්න රාජ්‍ය අංශයේ ආයතන පද්ධතිය භාවිත කර ඒකාබද්ධ ප්‍රවේශයකින් කළ යුතුව ඇත.
වී වගාව සහ වී අලෙවි මණ්ඩලයේ කාර්යභාරය කාලීනව වෙනස්විය යුතු යැයි ඔබ විශ්වාස කරනවාද ?
ඔව්, පැහැදිලිවම මෙම ආයතනයේ කාර්යභාරය ද අද වන විට කාලීනව වෙනස්විය යුතුමයි. මොකද වී සහ සහල් වෙළෙඳපොළ අද වනවිට පෙරට වඩා වෙනස්, ඒ වෙනසට අනුව අපිත් වෙනස් වෙන්න ඕනෑ. විශේෂයෙන් සඳහන් කරන්න ඕනෙ මගේ කාලසීමාව තුළ නිෂ්පාදනය දැවැන්ත කඩා වැඩීමක් තිබුණ අවස්ථාවක්. ඒ වගේම කොවිඩ් වසංගතයෙන් මුළු රටම වෙළාගෙන හිටපු කාලසීමාවක්. අද වනවිට සියල්ල අමතකවෙලා හැබැයි තියෙන්නෙ. ඉතා දැවැන්ත අභියෝගාත්මක කාලසීමාවක තමයි මට ඒ වගකීම පැවරිලා තිබුණේ. නමුත් මෙම කාලසීමාව තුළ සැලකිය යුතු වී ප්‍රමාණයක් මිලදී ගෙන රටේ සහල් ප්‍රශ්නයට ඉතාමත් සාර්ථක විසඳුමක් දෙන්න පුළුවන් වුණා. පසුගිය වසර 10ක කාලසීමාව තුළ වැඩිම වී ප්‍රමාණයක් එක් කන්නයක් තුළදී මිලදී ගන්න පුළුවන් වුණේ මගේ කාලසීමාව තුළ තමයි. වී මිලදී ගන්න මහා භාණ්ඩාගාරය මැදිහත්වෙලා ලංකා බැංකුවෙන් ලබා දුන්න රුපියල් මිලියන 6,500ක මුදලින් 98%ක් ගෙවලා අවසන් කරන්න පුළුවන් වුණා. ඒ නිසා දිගුකාලීන පර්යේෂණ සහ අත්දැකීම් සමඟ විධිමත් සැලසුම් සහිතව තමයි මා මේ පිළිබඳ කතා කරන්නෙ. සාම්ප්‍රදායික වී මිලදී ගැනීමේ රටාවෙන් බැහැරව මෙතෙක් අසාර්ථක වූ තැන් පිළිබඳ පූර්ණ අවබෝධයකින් යුතුව වෙනස්ම මානයකින් යුතුව වී මිලදී ගැනීමේ ක්‍රමවේදයක් ඉදිරි වසර තුළ ආරම්භ කළ යුතුය.
අපට ඉදිරියේදී සහල් අර්බුදයකට මුහුණ දෙන්න වේවිද ?
පළපුරුදු දක්ෂ ප්‍රාදේශීය නිලධාරීන් කණ්ඩායමක් වී අලෙවි මණ්ඩලයේ ඉන්නවා. ඔවුන් ද ඉලක්කගත අභිප්‍රේරණයකට ලක්කර විධිමත් සැලසුමක් තුළින් උපරිම සේවය මේ සඳහා ලබාගත හැකියි. රජය පෙන්වන මිලදී ගත යුතු ඉලක්කගත වී ප්‍රමාණය මහ කන්නයෙන් පමණක් නොව යල කන්නයත් සමඟ ගළපා මිලදී ගැනීමට සැලසුම් කළ යුතුයි. එනම් අපේක්ෂිත වී මො. ටො. ලක්ෂ තුනක ප්‍රමාණයෙන් කොටසක් යල කන්නයෙන් ද මිලදී ගැනීමට සහ ඒ ඒ කන්නයන්හි වී මිල පහළ අගයක් ගනු ලබන ප්‍රදේශ පදනම් කරගෙන සැලසුම් සැකසිය යුතුයි. මේ සඳහා නව මානයකින් යුතුව විධිමත් අධීක්ෂණයක් සහිතව කාර්යක්ෂම ක්‍රමවේදයක අවශ්‍යතාව පවතිනවා. මෙම 2024 වසර තුළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව රටේ වාර්ෂික පරිභෝජන අවශ්‍යතාවයත් වඩා මාස කිහිපයකට ප්‍රමාණවත් සහල් වෙනුවෙන් වී නිෂ්පාදනයක් සිදු කළ ද සෑම වසරකම මෙන් මෙම වසරේද අවසන් මාසයන් තුළ රජය සතුව ආරක්ෂිත වී තොගයක් නැතිවීමෙන් පාරිභෝගිකයාට සහල් අර්බුදයකට මුහුණ දීමට සිදුව තියෙනවා. සහල් මිල පිළිබඳ ප්‍රශ්නයට ආරක්ෂිත වී තොගයක් පැවතිය යුතුමයි. එහි සම්පූර්ණ වැය බර රජය දැරිය යුතු නොවන අතරම ඉදිරියේදී මෙම රාජ්‍ය යන්ත්‍රණයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ පෞද්ගලික අංශයත් සමඟ ඒකාබද්ධ වී පෞද්ගලික අංශයේ ආයෝජනද සමඟ ඉදිරියට යා යුතුව ඇත. මේ සඳහා සුපිරි වෙළෙඳසැල් ජාලය සම්බන්ධ කරගෙන වී මිලදී ගැනීමේ සිට සහල් ලබාදීම දක්වා වැඩසටහනක් මණ්ඩලයේ පරිපාලනය විසින් ක්‍රියාත්මක කළ යුතු අතර එය කඩිනමින් ආරම්භ කළ යුතු වන අතර ඒ තුළ සුපිරි වෙළෙඳසල් ජාලයට ද අඛණ්ඩ සහල් සැපයුමක් පවත්වාගෙන යමින් තම පාරිභෝගිකයා සඳහා නිශ්චිත මිල ගණන් යටතේ සහල් ලබා දීමට හැකියි. මේ සඳහා විද්‍යාත්මක පදනමකින් යුතු කාර්යක්ෂම දෙපාර්ශ්වයටම වාසිදායක රජයට වැය බරක් නොවන වැඩසටහනක් සිදුකළ යුතුයි.
වී සහ සහල් මිල ගණන් තීරණය කිරීමේ හැකියාව වී අලෙවි මණ්ඩලයට තිබේද?
විධිමත් කළමනාකරණයකින් යුතුව රාජ්‍ය හා පෞද්ගලික අංශය ඒකාබද්ධ වී මිලදී ගැනීමේ ක්‍රියාදාමයට සම්බන්ධ විය යුතුයි. එසේම වී අලෙවි මණ්ඩලය රාජ්‍ය ධාන්‍යාගාරය ලෙස වීවලට පමණක් සීමා නොවී බඩ ඉරිඟු, රටකජු, මුං ඇට, උඳු, කවුපි වැනි අනෙකුත් ධාන්‍ය වර්ගයන්හි අතිරික්ත අස්වැන්න මිලදී ගැනීමේ ශක්තිමත් මඨ්‍යස්ථානය බවට කාලීනව වෙනස්විය යුතුයි. ඒ තුළ වී ගොවියා මෙන්ම අනෙකුත් අතිරේක ආහාර භෝග නිෂ්පාදනය කරන ගොවියා ද ආරක්ෂා කර ගත හැකි වේවි. අදියර කිහිපයක් යටතේ පවතින ගබඩා පද්ධතිය නවීකරණය කර ඩිජිටල්කරණ ක්‍රියාදාමයත් සමඟ පෞද්ගලික අංශය සමඟ ඒකාබද්ධව මෙවැනි අතිරික්ත අස්වැන්න මිලදී ගැනීමට කටයුතු කළ යුතුව ඇත. නව ප්‍රවේශයක් සහිතව මෙම ආයතනය කාලීන අවශ්‍යතාව මත වෙනස්විය යුතු බව පෙන්වා දෙන අතර තවදුරටත් මහා භාණ්ඩාගාරයට වැය බරක් නොවන පරිදි වී සහ සහල් වෙළෙඳපොළ ක්‍රියාදාමයට අවතීර්ණ විය යුතුයි. ඒ සඳහා නව වෙළෙඳපොළ නීති රීති සමඟ පෞද්ගලික අංශයේ ශක්තිමත් හඳුනා ගත් සුපිරි වෙළෙඳසැල් ජාලයත් සමඟ එක්ව කටයුතු කළ යුතුයි. මෙහි ඇති ප්‍රධාන ගැටලුව නම් වී මිල තීරණය කිරීමටවත් සහල් මිල තීරණය කිරීමටවත් වී අලෙවි මණ්ඩලයට තීරණයක් ගැනීමට සෘජුවම පවතින අපහසුතාවයි. ඒ නිසා රජය තීරණය කරන වී සඳහා වන සහතික මිලත් සහල් සඳහා වන උපරිම සිල්ලර මිලත් අතර මිල ගණන් වී සහ සහල්වලට තීරණය කිරීමේ හැකියාව වී අලෙවි මණ්ඩලයට පැවතිය යුතුයි. වෙනත් බාහිර පාර්ශ්වයන් විසින් තීරණය කරන වී මිල ගණන් සහ සහල් මිල ගණන් නිසා වී අලෙවි මණ්ඩලයට නිරන්තරයෙන් අලාභ ලැබීමට සිදුව තියෙනවා. එම නිසා මෙම යල්පැන ගිය ක්‍රමවේදවලින් ඉවත්ව නව වෙළෙඳපොළ දැක්මකින් යුතුව විධිමත් ක්‍රමවේදයන් සහිතව නව තාක්ෂණයකින් යුතුව වී මිලදී ගැනීමේ ක්‍රමවේදයට ප්‍රවේශ විය යුතුයි. එසේ නොමැතිව මෙතෙක් කලක් සිදු කළ වී මිලදී ගැනීමේ ක්‍රියාදාමයම තවදුරටත් සිදුවන්නේ නම් ඉතා විශාල අලාභයකට වී අලෙවි මණ්ඩලයට මුහුණ දීමට සිදුවෙයි. මේ සඳහා සිදුකර ඇති පර්යේෂණයන්හි ප්‍රතිඵල අධ්‍යයනය කළ යුතුයි. එවැනි ක්‍රමවේදයන් සමඟ විධිමත් ආරක්ෂණ තොගයක් රැස්කර ගැනීම තුළ මෙම සහල් මිල පිළිබඳ ගැටලුවට විසඳුම් ලබා ගත හැකියි. එනම් සෑම වසරකම අවසන් මාස 03ක කාලයකට පමණක් පැන නඟින මෙම ගැටලුව පාලනය කර ඒ තුළින් සාර්ථක විසඳුම් ලබා ගත හැකියි. රාජ්‍ය යන්ත්‍රණය පාරිභෝගික ආරක්ෂණය වෙනුවෙන් ඉලක්ක කර ගත යුත්තේ ප්‍රශ්නගත මෙම මාස තුනක කාලය පමණයි. විශේෂයෙන් මේ වනවිට පොහොර සහනාධාරය ලෙස විශාල මුදලක් වැය කරන අතර එනම් හෙක්ටයාර් එකකට මේ වනවිට රුපියල් 25,000ක මුදලක් ලබා දෙන අතර මෙම සහනාධාර මුදලින් කොටසක් හෝ සමස්ත පාරිභෝගිකයාට ද විතැන්විය යුතුව ඇත. ඒ අනුව රටේ සමස්ත පරිභෝගිකයින් ගැන අවධානය යොමුකර සමාජමය වගකීමක් ලෙස සලකා මහ කන්නයේ වගා කරනු ලබන හෙක්ටයාර් ලක්ෂ 07ක ප්‍රමාණයෙන් එක් ගොවියෙකු තම අස්වැන්නෙන් 1/10ක ප්‍රමාණයක් එනම් කි.ග්‍රෑ 500ක ප්‍රමාණයක් හෝ අවම වශයෙන් රජයේ සහතික මිලට වී අලෙවි මණ්ඩලයට ලබා දීමට කටයුතු කළහොත් රජයට වී මෙ.ටො. 350,000ක ආරක්ෂික තොගයක් පවත්වා ගත හැකියි. මේ සඳහා විධිමත් සැලසුමක් සකස් කළ යුතුයි.
නුවන් මහේෂ්
Be First to Comment