Press "Enter" to skip to content

පරණ ගිවිසුම් කැඩුවොත් ගෑස්, තෙල් හිඟයක් – ජනපති කියයි

ඉන්ධන සහ ගෘහස්ථ ගෑස් හිඟයකින් තොරව ලබන වසර දක්වා ලබාදීමට නම් පසුගිය රජය විසින් ගිවිසුම්ගතව ඇති ටෙන්ඩර් අත්හිටුවන්නේ නැතිව තවදුරටත් ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

පසුගිය රජය විසින් ගෘහස්ථ ගෑස් සැපයීම සම්බන්ධව විදෙස් සමාගමක් සමඟ අත්සන් කර ඇති ගිවිසුම අහෝසි කළහොත් ලබන ජනවාරි මාසය වනවිට රටේ ගෑස් හිඟයක් ඇතිවන බව ද හෙතෙම සඳහන් කළේය.

එබැවින් එම ගිවිසුම්වලින් ක්ෂණිකව ඉවත්විය නොහැකි බවත් 2025 ජනවාරි මාසයෙන් පසු එම ගිවිසුම්වලින් ඉවත්වීමට රජය උත්සාහ ගන්නා බවත් ඔහු පැවසීය.

ඉන්ධන අලෙවිය සම්බන්ධව දැනට පවතින මිල සූත්‍රයෙන් නව රජය ඉවත්වීමට බලාපොරොත්තු වන බවත් එවිට ඇතැම් ඉන්ධන සැපයුම් සමාගම් මෙරටින් ඉවත්ව යා හැකි බවත් ඇතැම් සමාගම් දේශපාලන අරමුණු වෙනුවෙන් තවදුරටත් රැඳී සිටිය හැකි බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඉන්ධන අලෙවියෙන් ඛනිජ තෙල් සංස්ථාව ඉවත් නොවන බවත් ඉන්ධන මිල පාලනයට රජයේ මැදිහත්වීමක් තිබිය යුතු බව තමා විශ්වාස කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කීය.

උපාලි ද සේරම්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *