Press "Enter" to skip to content

චැනල් ෆෝ නාලිකාවේ වීඩියෝව සම්බන්ධයෙන් CID යෙන් විමර්ශනයක්

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව විදෙස් රූපවාහිනී නාලිකාවක විකාශය වූ වීඩියෝ පටයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ.

බාහිර සංවිධානයක් විසින් එම වීඩියෝව පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍යංශය වෙත යොමු කරන ලද පැමිණිල්ලක්, පොලිස් මූලස්ථානය වෙත යොමු කිරීමෙන් පසු එහි විමර්ශන කටයුතු සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දී ඇත.

බ්‍රිතාන්‍ය රූපවාහිනී නාලිකාවක් වූ Channel 4 නාලිකාව විසින් ශ්‍රී ලාංකිකයෙකු වූ මොහොමඩ් මිහිලාල් මොහොමඩ් හෆ්සීර් නොහොත් අසාද් මවුලානා යන අය සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වා තිබුණි.

මෙම සම්මුඛ සාකච්ඡාව පසුගිය 2023 වසරේ සැප්තැම්බර් 06 වන දින හෝ ඊට ආසන්න දිනකදී එම නාලිකාව මඟින් විකාශය කර තිබුණි.

ඒ අනුව එම වීඩියෝවේ අඩංගු පාස්කු දින ප්‍රහාරය සම්බන්ධ ආන්දෝලනාත්මක කරුණු සහ දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් කුමන්ත්‍රණය ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම විමර්ශනයට අදාළව අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව ගරු මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරන ලදී.

මේ අතර අද දින පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ, පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශනයට අදාළව ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බවය.

ඒ අනුව හෙට උදෑසන 9.30ට ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *