Press "Enter" to skip to content

පාර්ලිමේන්තුවේ ගෞරවය මෙන්ම මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමටත් කටයුතු කරනවා

මෙරට උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය සහ ගෞරවය උපරිම වශයෙන් ආරක්ෂා කිරීමට මෙන්ම සභාව නියෝජනය කරන සිය, මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් කථානායක ධුරයේ වගකීම අවංකව හා කාර්යක්ෂමව ඉටුකිරීමට කැපවන බව අභිනව කථානායක අශෝක සපුමල් රන්වල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප්‍රකාශ කළේය.

කථානායක ධුරයේ දිවුරුම් දීමෙන් පසුව අශෝක රන්වල මහතා මේ බව සඳහන් කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අභිනව කථානායක අශෝක සපුමල් රන්වල මහතා මෙසේද පැවසීය.

දසවැනි පාර්ලිමේන්තුවේ නව කථානායක ලෙස තෝරා පත් කර ගැනීම සම්බන්ධයෙන් මා ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට මාගේ ප්‍රණාමය මා පුදකරනවා. අපේ රටේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය සහ ගෞරවය උපරිම වශයෙන් ආරක්ෂා කරමින් මේ සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගනිමින් ඒවා රැක දෙමින් මෙම භාරධුර කථානායක ධුරයේ වගකීම අවංකව සහ කාර්යක්ෂමව ඉටු කිරීමට පොරොන්දු වෙමි. ව්‍යවස්ථාදායකය ලෙස අප යොදා ගනු ලබන මූලාශ්‍ර ලෙස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ ස්ථාවර නියෝග මෙන්ම පූර්වාගමික කථානායකවරුන් දී ඇති තීරණයන් මෙන්ම පාර්ලිමේන්තු සම්ප්‍රදායන් හා පිළිවෙත් අනුව කටයුතු කොට ආදර්ශවත් පාර්ලිමේන්තුවක් බිහි කිරීමට මම කැප වෙනවා. ඒ සඳහා ඔබ සැමගේ උපරිම සහයෝගය බලාපොරොත්තු වෙනවා. අපේ පාර්ලිමේන්තු ක්‍රියාවලිය වඩාත් අර්ථාන්විතව ක්‍රියාත්මක කිරීමටත් ව්‍යවස්ථාදායකයෙන් ජනතා අපේක්ෂා කරනු ලබන අපේක්ෂාවන් ඉතා ඉහළින් මුදුන්පත් කරවා ගැනීමට වෙහෙසෙනවා. ඒ සඳහා පාර්ලිමේන්තු කාරක සභා යන්ත්‍රණය විධිමත් කොට ක්‍රමවත්ව ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා ඔබගේ පූර්ණ සහයෝගය අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම ඔබ විනයානුකූල ලෙස කටයුතු කොට ඒ සඳහා සක්‍රිය දායකත්වයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටිනවා. එමගින් ආදර්ශවත් පාර්ලිමේන්තුවක් පිහිටුවීමට හා සහයෝගය ලබා දෙනු ඇතැයි මා සිතනවා. අප සියලු දෙනා සාමුහිකත්වයෙන් එක්සත්ව එක්සිත්ව දේශපාලන වාද විවාද වලින් තොරව මෙම අභියෝගාත්මක අවස්ථාවේදී ජනතාවගේ අපේක්ෂාවන් මුදුන් පමුණුවා ලීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිනවා.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »
More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *