Press "Enter" to skip to content

වැඩිදුර අධ්‍යාපනය සඳහා පොලී නැති ණය

විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලැබීම සඳහා දරුවන් පන්දහසකට රජය මගින් ලබාදෙන පොලී රහිත ණය මුදල ලබන සතියේ සිට නැවත ලබා දීමට රජය තීරණය කර තිබේ.

2016 වර්ෂයේ යහපාලන රජයේ මුදල් අමාත්‍යවරයාව සිටි රවි කරුණානායක මහතාගේ යෝජනාවකට අනුව ක්‍රියාත්මක වුණු මෙම පොලී රහිත ණය සහනය නැවත ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

අමාත්‍යවරයා එම අදහස් පළ කළේ රුවන්වැල්ල ප්‍රදේශයේ පාසලක පැවති වර්ණ ප්‍රදානෝත්සවයකට සහභාගි වෙමිනි.

මෙහිදී අමාත්‍යරයා වැඩිදුරටත් සඳහන් කළේ ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මෙම සතියේ මුදල් අමාත්‍යංශය මගින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

ඒ අනුව උසස් පෙළ සමත් විශ්වවිද්‍යාල වරම් අහිමි වූ දරුවන්ට විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය හැදෑරීමට රුපියල් ලක්ෂ 10ක පොලි රහිත ණයක් ලබා දීමට නියමිතය.

එමගින් විශාල ශිෂ්‍යයින් සංඛ්‍යාවකට උපාධියක් ලබා ගැනීමට මෙන්ම රැකියා අවස්ථා උදා කර ගැනීමට ද හැකි වේ.

රට තුළ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය කාලයේ මෙම සහන ක්‍රියාවලිය නවතා දමා තිබූ අතර වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යළි එය ක්‍රියාත්මක කරන ලෙස දන්වා තිබේ.

ඒ යටතේ රුපියල් ලක්ෂ 10 ක පොලී රහිත ණය මුදලක් සිසුන්ට හිමි වන අතර එය ගෙවා දැමීම සඳහා වසර දෙකක සහන කාලයක් ද හිමි වේ.

මේ සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ රටක ඇති හොඳම ආයෝජනය අධ්‍යාපනය බැවින් රජය අසීරු අවස්ථාවල පවා අධ්‍යාපනයට ප්‍රමුඛත්වය ලබා දීමට ක්‍රියා කළයුතු බවයි.

රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වැඩිම සේවාවක් ක්‍රියාවට නංවනු ලැබුවේ යහපාලන රජය සමයේ බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *