Press "Enter" to skip to content

පලුදු වයරය මවු-පිය යුවළට මරු කැඳවයි

මුන්දලම බරණන්කට්ටුව 412 ප්‍රදේශයේ අඹු සැමි යුවළක් විදුලිසර වැදී මරණයට පත්ව ඇතැයි මුන්දලම පොලීසිය කියයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ බරණන්කට්ටුව 412 ගම්මානයෙ පදිංචි එස්.ඒ.එස්. ස්ටැන්ලි තිලකරත්න (54) හා එස්. ඒ. චන්ද්‍රිකා මල්කාන්ති (53) දරුවන් තිදෙනකුගේ මවුපිය දෙපළකි. මරණයට පත් යුවළ ඉඩම් හිමි වැවිලිකරුවන් බවත්, මොවුන් මුන්දලම නගරයේ වාහන සේදුම් ස්ථානයක් පවත්වාගෙන ගොස් ඇති බවත් පොලීසිය සඳහන් කරයි. අදාළ වාහන සේදුම් ස්ථානයේ සිට නිවෙසට පැමිණ ඇති මරණකරු නිවෙසේ ජල ටැංකියේ ජලය නැති වීම හේතුවෙන් මෝටරයේ වයරය ස්විචයක වයරයට ඇමිණීමට යෑමේදී විදුලිසර වැදී තිබේ. ඔහුට විදුලිසර වැදෙද්දීම කෑගසා ඇති අතර, ඒ සමඟම ඔහුගේ බිරියද දිවැවිත් ඔහුගේ අතින් ඇද ඇති අතර, ඇයටද මෙහිදී විදුලිසර වැදී ඇත. මවත් පියාත් විදුලිසර වැදි දඟලමින් සිටියදී ඔවුන් එයින් ඉවත් කිරීමට ගිය ඔවුන්ගේ දියණියටද විදුලිසර වැදි ඇති නමුත් ඇය එක්වර විසි වී යාමෙන් ඇගේ ජීවිතය බේරි තිබේ.

අදාළ නිවෙස් හිමියා සවි කිරීමට ගිය වයරය ස්ථාන රැසකින් හානි වී තිබූ එකක් බවත්, එය පුරා ටේප් අලවා තිබී ඇති බවත් පොලීසිය කියයි. කෙසේ නමුත් පොලීසිය පවසන්නේ කිසිදු ආරක්ෂිත ක්‍රමවේදයකින් බැහැරව මේ නිවෙස් හිමියා අදාළ වයර් සවි කිරීම සිදු කරන අතරතුර මෙසේ විදුලිසරට ලක්ව ඇති බවයි. සිද්ධියෙන් පසු විදුලිසරට ලක් වූ අඹුසැමි යුවළ ප්‍රදේශවාසීන්ගේ ආධාරයෙන් කඩිනමින් මුන්දලම ප්‍රාදේශීය රෝහලට රැගෙන යන අතරතුර ඔවුන් දෙදෙනා මරණයට පත්ව ඇතැයි වාර්තා වෙයි.

අඹු සැමි යුවළගේ මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය පුත්තලම මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

 

පුත්තලම අතිරේක හිරාන් ප්‍රියංකර ජයසිංහ

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *