Press "Enter" to skip to content

වරදක් නොකළ මගේ සැමියව කඩුවෙන් කපල මැරුවේ දරුවෝ ඉස්සරහා

මගේ දරුවො ඉදිරියේදී තමයි වරදක් නොකළ මගේ සැමියා ඝාතනය කළේ. මේ වගේ අපරාධයක් තවත් කිසිවකුටත් නොවේවා යැයි සිය සැමියාගේ වියෝවෙන් කම්පාවට පත් වූ සෙල්ලකතරගම දඹේ පාරේ දී ඉකුත් 30 දා ඝාතනයට ලක් වූ ප්‍රසන්න කුමාර (39) මහතාගේ බිරිඳ කේ. ජී. තේලිසා මහත්මිය කියයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් පැමිණ පොලිසියට ඔත්තු ලබාදුන් බවට චෝදනා කර පුද්ගලයකුට පහර දෙන අවස්ථාවේදී එම ආරවුල බේරීමට යෑමේදී පැමිණි මැරයන් විසින් ප්‍රසන්න කුමාර මහතාව තියුණු කඩුවකින් කපා ඝාතනය කර ඇත.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඝාතනයට ලක් වූ ප්‍රසන්න කුමාරගේ බිරිඳ පැවසුවේ, “අපි අසරණයි. මිනීමරුවෝ නිදැල්ලේ. මේවගේ අහිංසක මිනිස්සු මරණවා නම් පොලීසිය මොකටද? මගේ මහත්තයා අපිට නැතිවුණා. දරුවන් තනි වුණා. තවත් මෙවැනි අපරාධවලට ඉඩ තියන්න එපා කියලා අපි අනුර කුමාර ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා” යනුවෙන් ඇය කියයි.

මියගිය ප්‍රසන්නගේ පියා වන කේ. විජේසේන මහතා පැවසුවේ “කතරගම පොලිසියෙන් වැඩක් නෑ. පුතා කපපු කඩුවෙන් තවත් 04ක් කපල තියෙනවා. මුල් අවස්ථාවේ කඩුව පොලිසිය ගත්තා නම් මෙසේ සිදු වන්නේ නෑ. කතරගම පොලිසිය සාධාරණයක් කරයි කියලා හිතන්න බෑ” යැයි පැවසීය.

සෙල්ලකතරගම කේ. ජී. සිරිසේන –

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලිසියට ඔත්තුව දුන්නාම අපරාධකරුට පොලිසියේ අයම කියනවා සිද්ධිය. මෙවැනි දූෂිත පොලිසිවලින් වැඩක් නෑ. මිනීමරපු එකාම භාර වෙනකම් පොලිසිය ඉන්නවා. අධිකරණයෙන් ඇප ගන්නවා නැවත එළියට එනවා. ආයි මරනවා. මේවා දැන්වත් නතරවිය යුතුයි.

පොලිසියට ඔත්තු දෙන ආරවුල විසඳන්න ගිය සෙල්ලකතරගම පුද්ගලයා මරාදැමීම:
මියගිය ප්‍රසන්න කුමාර මහතාගේ මළසිරුර රැගෙන විත් පෙරේදා (02 දා) සෙල්ලකතරගම නගරයේ තබා ගම්මු විසින් විරෝධතාවයක්ද සිදු කළේය. වර්තමානයේ කතරගම පුරවරයේ නීති විරෝධී ක්‍රියා වැඩිවෙලා. මත්ද්‍රව්‍ය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙලා යැයි සෙල්ල කතරගම ජනතාව කියති.

පසුගිය මාසයේදී ජර්මනියේ සිට පැමිණි තරුණියන් දෙදෙනකුගේ ලක්ෂ 09 ක පමණ දේපළ සොරා ගැනීමක් ඇතුලු දූෂිත ක්‍රියා රැසක්ද සිදුවිය.

මේ සම්බන්ධයෙන් කතරගම පොලිසියේ නිලධාරියකු පැවසුවේ අපරාධකරුවන් ඇල්ලීමට නීතිය ක්‍රියාවට නංවා ඇති බවයි.

කතරගම – කේ. ඩී. දේවප්‍රිය

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *