Press "Enter" to skip to content

එන්පීපී ආණ්ඩුව යටතේ මෙතෙක් උතුරේ කිසිම ජාතිවාදී ක්‍රියාවක් වෙලා නෑ

වත්මන් ජාතික ජනබලවේගයේ ආණ්ඩුව යටතේ උතුරු පළාතේ කිසිම ආකාරයක ජාතිවාදී ක්‍රියාකාරකමක් මෙතෙක් සිදුව නැතැයි යාපනය දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04දා) පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ මහවිරු සතිය සැමරූ උතුරේ අයට දණ්ඩ නීති සංග්‍රහය යටතේ නීතිය ක්‍රියාත්මක කිරීමත්, ඊට විරුද්ධ වූ දකුණේ අයට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති බවටත් කළ චෝදනාව සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රී දයාසිරි ජයසේකර, සභානායක බිමල් රත්නායක සහ මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජයපාල යන මහත්වරුන් අතර ඇතිවූ උණුසුම් කතාබහක් අතරතුරය.

දයාසිරි ජයසේකර මහතා- මේ ආණ්ඩුව උතුරේ සිවාජිලිංගම්ට ක්‍රියාත්මක කරන නීතිය නොවෙයි දකුණේ අත්අඩංගුවට ගත් අයට තිබෙන්නේ. උතුරේ නඩු දාලා තිබෙන්නේ එක නීතියක් යටතේ. දකුණේ තව නීතියක් යටතේ. දකුණේ දාලා තිබෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිය යටතේ. උතුරේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ දානවා. මේක ප්‍රශ්නයක්.

මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජයපාල මහතා- උතුරේ එක නීතියක් යටතේත් දකුණේ තව නීතියක් යටතේත් අපි ක්‍රියා කරන්නේ නෑ. අනෙක අපි නොවෙයි නඩු දාන්නේ පොලිසිය. ඇමැතිවරයා නඩු දාන්නේ නෑ. පොලිසිය තමයි තීරණය කරන්නේ මොන නීතිය යටතේද නඩු පවරන්නේ කියලා. අපි පොලිසියට නිදහස දීලා තිබෙනවා. ඒ කාලේ වගේ නොවෙයි.

අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර මහතා – පොලිසිය යම් හෙයකින් වැරදි ලෙස නීතිය ක්‍රියාත්මක කරනවා නම් ඒ ගැන ක්‍රියා කරන්න මානව හිමිකම් සහ අනෙකුත් ප්‍රතිපාදන තිබෙනවා. අපි කියන්නේ පොලිසියට ඕනා ඕනා විදිහට වැඩ කරන්න එපා කියලායි. ජාතිවාදය නැති කිරීමයි වැදගත්.

ආනන්ද විජයපාල මහතා- දයාසිරි මන්ත්‍රීතුමා කලින් කිව්වා උතුරට එක නීතියක් සහ දකුණට තව නීතියක් යටතේ අත්අඩංගුවට ගැනීම් කර තිබෙනවා කියලා. මම දැන් පොලිස්පතිතුමාට කතා කළා. පොලිස්පති කිව්වා එහෙම නෑ. උතුරේත් ත්‍රස්තවාදය වැළැක්වීම යටතේයි ක්‍රියා කර තිබෙන්නේ කියලා. ඒ නිසා දයාසිරි මන්ත්‍රීතුමා මේ අවස්ථාවේ නැවත වතාවක් ජාතිවාදය ඇවිස්සීමක් තමයි කරන්නේ.

දයාසිරි ජයසේකර මහතා – ඉතිහාසයේ කවදාවත් මම ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටියේ නෑ. මම ජාතිවාදියෙක් කියපු එක හෙළා දකිනවා.

සභානායක බිමල් රත්නායක – මෙතුමා කළ ප්‍රකාශයකට ඇමැතිවරයා පොලිස්පතිගෙන් විමසා උත්තරයක් දුන්නා. ඒක එච්චරයි. මේ වැඩේට ඉඩ දෙන්න එපා. ජාතිවාදී ප්‍රකාශයක් තමයි ඔබ කළේ.

දයාසිරි ජයසේකර මහතා- මට ජාතිවාදියෙක් කියලා කරපු ප්‍රකාශය ඉල්ලා අස්කරගන්න.

කථානායක- මේක විවාදයක් කරගන්න එපා.

රාමනාදන් අර්චුනා මහතා – මම නියෝජනය කරන්නේ උතුර. කලින් ආණ්ඩු යටතේ ජාතිවාදය හොඳටම තිබුණා. අපි දෙමළ කියලා අපිව වෙන් කරලා පාලනය කළා. නමුත් මේ ආණ්ඩුව යටතේ මේ වනතුරු කිසිම ජාතිවාදී දෙයක් කරලා නෑ. උතුරෙන් එන්පීපී එකේ මන්ත්‍රීවරුන් තුන් දෙනෙක් තේරී පත්වී තිබෙනවා. මම ආවේ ස්වාධීනව. අපේ ජනතාව හිතනවා මේ ආණ්ඩුව ජාතිවාදී නෑ කියලා. ඒකයි එහෙම පත්වුණේ. නමුත් පාර්ලිමේන්තුව ඇතුළේ තමයි මේ ජාතිවාදය ක්‍රියාත්මක වෙන්නේ. මට විපක්ෂ නායක කාර්යාලයේදී පහර දුන්නා. නමුත් මම පොඩි ළමයින් වගේ පැමිණිලි කරන්න ගියේ නෑ. මට ගැහුවා වාගේ මමත් ගහන්න ගියා නම් මට සීපීආර් කරන්න වෙනවා. ඒ නිසා මම ගැහුවේ නෑ.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *