Press "Enter" to skip to content

පොහොට්ටුවට මෙච්චර බයවීම ගැන සතුටුයි

උතුරේ සිදු කළ මහවිරු සැමරුම් සම්බන්ධයෙන් මුහුණු පොතේ පෝස්ටුවක් පළ කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පරිපාලන ලේකම් රේණුක පෙරේරා අත්අඩංගුවට ගැනීම රාජ්‍ය මර්දනය ක්‍රියාත්මක කිරීමක් යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ඊයේ පැවසීය.

උතුරේ මහ විරු සැමරුම් සම්බන්ධයෙන් මුහුණු පොතේ සටහන් තබන අය නොව සැබවින්ම එවැනි සැමරුම් සිදු කළ අය අත්අඩංගුවට ගන්නා ලෙස ගරු අධිකරණයෙන් මාර්ගෝපදේශයක් ලබාදී තිබියදීත් එය නොතකා මෙසේ රේණුක පෙරේරා මහතා අත්අඩංගුවට ගැනීම බරපතල තත්ත්වයක් යැයිද හෙතෙම සඳහන් කළේය.

බත්තරමුල්ලේ නෙළුම් මාවතේ පිහිටි පොදු ජන පෙරමුණේ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව කීවේය.

කාරියවසම් මහතා මෙසේද කීවේය.

අපි දන්න රේණුක පෙරේරා නම් ජාතිවාදියෙක් නෙවෙයි. අසූඅට අසූ නවයේ ජනතා විමුක්ති පෙරමුණ ජාතිවාදීව කටයුතු කරමින් සිටින විට ඊට විරුද්ධව සටන් කරපු කෙනෙක්. එක අතකින් අපි සතුටු වෙනවා පොදුජන පෙරමුණට මේ ආණ්ඩුව මෙච්චර බය වෙලා තියෙන එක

ගැන. මාලිමා ආණ්ඩුවේ මහජන ආරක්ෂක ඇමැතිම පාර්ලිමේන්තුවේදී කිව්වා මහ විරු සැමරුම් කීයක් තිබුණද ඒවායෙන් කීයක එල්ටීටීයට සම්බන්ධ සලකුණු යොදාගත්තද කියන කාරණය. දැන් තියෙන්නේ ඒවා හොයන්න.

මාලිමාව බලය ගත්තේ බොරුව වපුරලා වෛරය ඇති කරලා. එනිසා අපි කියනවා කරුණාකරලා මේ වැඩ නතර කරලා එදා පොරොන්දු වෙච්ච විදිහට බදු බර අඩු කරලා ජනතාවට සහන දෙන්න කියලා. අපි හෙළා දකිනවා රේණුක පෙරේරාව අත්අඩංගුවට ගැනීම ගැන. ආණ්ඩුවට විරුද්ධ මත දරන අයව මේ විදිහට මර්දනය කරන්න ඉඩ දෙන්න බෑ.

මෙහිදී කතා කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතා මෙසේ පැවසීය.

බොරුව වපුරලා බලය ගත්ත මාලිමාවට අපි කියනවා දැන්වත් මේ බොරු විගඩම් නතර කරන්න කියලා. එදා කිව්වේ හිටපු මැති ඇමැතිවරු හොරා කන හින්දා ජනතාවට සහන දෙන්න බෑ ඒගොල්ලෝ ආපුවාම හාල් පොල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ඉතාම සහන මිලට දෙනවා කියලා. අද පොල් කීයද හාල් කීයද ඒවා ගිනි ගණන්. දැන් සැපද කියලා තමයි අහන්න වෙන්නේ. සතොස හරහා පොල් සහ සහල් සීමාසහිතව ජනතාවට බෙදනවාලු. අපි කියනවා කරුණාකරලා මීට වඩා ප්‍රායෝගික වැඩපිළිවෙළක් යොදන්න කියලා.

එදා මොන ප්‍රශ්නේ තිබුණත් හාල් රු.200ට රු. 220ට පාලන මිලක් තිබුණා. අද හාල්වලට පාලන මිලක් නැහැ. හාල් ගේනවා කියනවා. ඩොලරයට සාපේක්ෂව ඩොලරයේ මුදල රුපියලට සම්බන්ධ කරපුවාම ඔය කියන ගාණට හාල්ටික දෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නය තිබෙනවා? ඒ නිසා මීට වඩා හිතන්න බලන්න මේ ආනයනය කිරීම් පිළිබඳව. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපි බිහිකරගත්තේ මේ ආර්ථික සැලැස්මක්, සමාජ සැලැස්මක් ඇතිව. ඒ වගේම මේ මාතෘභූමිය නොබෙදුණු රටක් බවට පරිවර්තනය කරන්න. අපි නැගිටින්නෙ කොහොමද කියලා කතා කරන්න පුළුවන් වෙයි. වැඩි ඈතක නැහැ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ධජය ඉස්සරහට එන දිනය. පක්ෂය ප්‍රතිසංවිධානය සඳහා අපි පටන් අරගෙන ඉස්සරහට යන්න සූදානම් වෙනවා. මේ මාතෘභූමිය අපේ. ඔබෙත්, මගෙත් මේ මාතෘභූමිය.

අනුරාධ හිරිපිටියගේ

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *