වන සතුන් මඟින් වගාවන්ට සිදුවන හානි වළක්වා ගැනීමට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි ගොවි සංවිධාන නියෝජිතයන්ගෙන් සැදුම්ලත් ඒකකයක් සෑම ග්‍රාම සේවා වසමකම ස්ථාපිත කිරීමට මහනුවර සම්බන්ධීකරණ කමිටුවේදී තීරණය කළ බව කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් හා ඉඩම් අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පවසයි.
ගොවි සංවිධාන නියෝජිතයන් මඟින් ප්‍රශ්නය නිවැරදිව හඳුනා ගැනීමත් ඔවුන්ගේ යෝජනා මඟින් ගැටලුවට ලබාදිය යුතු විසඳුම් කවරේ ද යන්න හඳුනා ගැනීමත් කළ යුතුව තිබෙන බවත් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හා කෘපනිස නිලධාරීන් ද සම්බන්ධ කර ගනිමින් අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට යෝජනා වූ බවත් ඒ මහතා කීය.
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව ඊයේ (11) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේ ද පැවසුවේය.
වන සතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි අවම කිරීම සඳහා ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන වැඩපිළිවෙළට අමතරව දිස්ත්‍රික් මට්ටමින් ගොවිජනතාව ද සම්බන්ධ කර ගනිමින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. සෑම ග්‍රාම සේවා වසමකම මහජනතාව සම්බන්ධ කර ගත් ඒකකයක් මේ සඳහා ස්ථාපිත කිරීම මඟින් ප්‍රශ්නයට ඉක්මන් විසඳුමක් ලබාගත හැකිවේ යැයි විශ්වාස කරනවා.
මෙම ඒකක නියෝජනය කරන ජනතාවට වන සතුන්ගෙන් වගාබිම ආරක්ෂා කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුම හා පුහුණුව ලබාදිය හැකියි. වායු රයිෆල් ලබා දෙන්නේ නම් එම ප්‍රමාණය පිළිබඳ ගම්මාන මට්ටමින් අපට තීරණය කළ හැකියි. දීර්ඝ කාලීන විසඳුම් ප්‍රශ්නයට ලබාදීම සඳහා වන වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන අතරතුර තමයි අප මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ.
මහනුවර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ගොවි සංවිධාන 1555ක් තිබෙනවා. මීළඟ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට පෙර එම ගොවි සංවිධාන නියෝජිතයන්ගේ යෝජනා ලබා ගන්නා ලෙස ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා. ඒ අනුව ඉතා ඉක්මනින් මේ ප්‍රශ්නයට පිළිතුරක් දීම තමයි අපගේ අරමුණ. වන සතුන් ඝාතනය කළ යුතු බව මා කිසිදු අවස්ථාවක ප්‍රකාශ කළේ නැහැ. මොනවා වුණත් පරිසරවේදීන් මේ ප්‍රශ්නයට මැදිහත් වුණු එක හොඳයි. මොකද ගොවීන්ට මේ වගේ දැවෙන ප්‍රශ්නයක් තිබෙන බව ඔවුන් තේරුම් ගැනීම වැදගත්.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, රාජ්‍ය නිලධාරීහු ද සහභාගි වූහ.
Be First to Comment