රටේ සහල් හිඟයක් තිබේ ද, සහල්වල හිඟයක් ඇතිවීමට පසුගිය යල කන්නයේදී වී අස්වැන්නේ සැලකිය යුතු අඩුවක් සිදුවීද යන්න විමසා බැලිය යුතුය. එහෙත් එම කරුණ ගැන සලකා බලද්දී අපට තහවුරු කළ හැකි කරුණ වන්නේ පසුගිය කන්නයේදී කිසිදු වී අස්වැන්නේ හිඟයක් නොමැති බවය. එසේනම් මේ වනවිට වෙළෙඳපොළේ හිඟයට හේතුව කුමක්ද යන්න සොයා බැලිය යුතුය.
මෙම ඇති කර තිබෙන හිඟයට විසඳුමක් ලෙස දෙසැම්බර් විසිවැනිදා දක්වා බලපත්‍රයකින් තොරව සහල් ආනයනය කිරීමට රජය කටයුතු කර තිබේ. මෙම අවසර දීම සමඟ සහල් ඒකාධිකාරියේ යම් බිඳ වැටීමක් දක්නට තිබේ. එම ආනයනය කිරීම් පිළිබඳ අප අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ මෙම ආනයන තොග ඉතාමත් නුදුරු දිනෙක මෙරටට ලැබීමට නියමිත බවය.
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, සහල් හිඟයට අවශ්‍ය කඩිනම් විසඳුම් සෙවීම සඳහා සෘජුව මැදහත්ව තිබේ. ඒ සඳහා පියවරක් ලෙස සහල් සඳහා අවශ්‍ය පාලන මිල ගණන් පිළිබඳ ගැසට්ටුවක් පසුගියදා ප්‍රකාශයට පත්විය. ජනපති, නිලධාරීන් සහ සහල් මෝල් හිමියන් අතර මෙම සාකච්ඡාව ඇති වූ අතර එහිදී එකඟතා රාශියක් ඇති වූ අතර මෙහිදී නැඟණු ප්‍රමුඛ තර්කය වූයේ කුමන තත්ත්වයක් තුළ වුවද ආහාර පිළිබඳ වඩාත් සාධාරණ විය යුතු බවය.
“කිසිදු ව්‍යාපාරයක් වට්ටන්න හරි, කිසිදු ව්‍යාපාරයක් අඩපණ කරන්න හරි අපේ අදහසක් නැහැ. මම හිතන්නේ තොග මිල 225යි, සිල්ලර මිල 230යි. හොඳට මතක තියාගන්න ජනතාවගේ මතය තියෙන්නේ ඕගොල්ලන් එක්ක නෙමෙයි. ජනතාවගේ මතය තියෙන්නේ ඕගොල්ලන්ට විරුද්ධවයි. අපට ජනතාවගෙන්, අවශ්‍යනම් ජනතාවගේ අනුමැතිය සහිතව මීළඟ පියවරට යන්න පුළුවන්. පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් හැම මෝලකටම දානවා හෙට ඉඳන්. මෝලෙන් එළියට යන හාල් ප්‍රමාණය පාරිභෝගික නිලධාරීන්ට වාර්තා කරන්න ඕනේ. අපි සතියක්, දින දහයක් බලාගෙන ඉන්නම් මේක ක්‍රියාත්මක වෙනවා ද කියලා. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැතිනම් ඊළඟ පියවර ගන්නවා.”
මිල ඉහළ යාම
රටේ ජනාධිපතිවරයා දක්වාම ගෙනගිය මෙම සහල් ගැටලුව මෙතරම් දුරට උග්‍ර වූයේ කෙසේද? ඒ පිටුපස තිබෙන හස්තයන් මොනවාද යන්න පිළිබඳව ද විමසා බැලිය යුතුය. සහල් මිල ඉහළ යාම, සහල් හිඟයක් ඇති වීම යන කරුණු පසුපස තිබෙන ඇත්තම කරුණු මොනවාද යන්න ගැන ද කල්පනාවෙන් විමසා බැලිය යුතුය. ඒ කරුණු පිළිබඳව සොයා බැලිය යුත්තේ ද මෙම ක්ෂේත්‍රය තුළ පූර්ණකාලීනව කටයුතු කරන කෙනෙකුගෙනි. ඔහු එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති කුසුමන්ත මුදිත් පෙරේරා මහතාය. ඔහු සඳහන් කරන ආකාරයට සහල් මිල පිළිබඳව ප්‍රශ්නය සහ සහල් හිඟය පිළිබඳව ගැටලුව ඇතිව තිබෙන්නේ සහල් නිෂ්පාදන පිරිවැයේ ලොකු වෙනසක් තිබේ යන්නයි. සහල් මිල තීරණය කරනු ලැබුවේ පැරණි ගැසට් පත්‍රයට අනුවය. එයට හේතුව බවට පත්ව තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාලයේදී ඇති කරන ලද මෙම ගැසට් පත්‍රය නිසා මෙම තත්ත්වය උද්ගතව තිබේ. කුසුමන්ත මුදිත් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙවැනි අදහසකි.
“සහල් හිඟයක් පිළිබඳවත්, වී තොග අවසන් බවට අදහස් පළ වුණත් එවැනි වී හිඟයක් නැහැ. අද සිට ඉදිරියට තවත් මාස හතරක් සඳහා වී, තොග ගබඩාවල තිබෙනවා. ඒ නිසා වී හිඟයක් ඇති වීමට හෝ සහල් අර්බුදයක් ඇති වෙන්න කිසිම ඉඩක් නැහැ.”
කුසුමන්ත මහතා එවැනි අදහසක් සඳහන් කළ ද අද වනවිට ඇතැම් මාධ්‍ය සහ දේශපාලන කණ්ඩායම් මතු කර පෙන්වීමට උත්සාහ කරනු ලබන ප්‍රධානම කරුණක් බවට පත්ව තිබෙන්නේ ඉදිරි කාලය සඳහා වී හිඟයක් ඇති විය හැකි බවය.
මේ තත්ත්වය නිසා සහල් වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් මත පටු දේශපාලන හෝ ව්‍යාපාරික අරමුණු සාක්ෂාත් කිරීමට කටයුතු කරනවා නම් එය කිසිදු ලෙසකින් හොඳ ප්‍රවේශයක් නොවේ.
මෙහිදී අඩු ආදායම්ලාභීන් තෝරාගෙන සහල් පිළිබඳ සහනාධාරයක් ලබාදීමට කටයුතු කරන්නේ නම් එය වඩාත් වැදගත් දෙයක් ලෙස සඳහන් කළ හැකිය. සහනාධාර පිළිබඳව අදහස් පළ කිරීමට විවිධ මාධ්‍ය අදහස් පළ කරමින් තිබේ.
රජරට කලාපයේ ප්‍රධානම සහල් නිෂ්පාදකයන්ගේ එකමුතුව වන එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති කුසුමන්ත මුදිත් පෙරේරා මහතා වී වගාව පිළිබඳ රජය ගෙනයන වැඩපිළිවෙළ සහ පොහොර සහනාධාරය පිළිබඳව දක්වන්නේ මෙවැනි අදහසකි. එහිදී අප ඔහුගෙන් ප්‍රශ්න කළේ පොහොර ලබාදීම වෙනුවට ගොවියා වෙත මුදල් ලබාදීම වඩා සුදුසුද යන්නය. එහි දී ඔහු ලබා දුන්නේ මෙවැනි අදහසකි.
“විවිධ විදිහේ යෝජනා පැමිණියත් වඩාත් හොඳ සහනාධාර ලබා දීමේ ක්‍රමය විදිහට මම විශ්වාස කරන්නේ ගොවීන්ට අවශ්‍ය පොහොර වර්ගය ලබා ගැනීම සඳහා ඔවුන් වෙත මුදල් ලබා දීමයි. පොහොර ලබා දීම හොඳ යෝජනාවක් විදිහට පෙනුණට සහනාධාරය ක්‍රියාත්මක වෙද්දි ගොවීන්ගෙන්ම චෝදනාවක් එන්න පුළුවන් බාල පොහොර නැතිනම් ප්‍රමිතියෙන් අඩු පොහොර වර්ග ආණ්ඩුව විසින් ලබා දෙනවා කියලා. එහෙත් මුදල් ලබා දුන්නොත් ගොවියාට තීරණය කරන්න පුළුවන් තමන් ගන්නේ කුමන වෙළෙඳ නාමය සහිත පොහොර වර්ගය ද කියලා. ඒ නිසා සහනාධාරයක් ලබා දෙනවා නම් ලබාදිය යුත්තේ මුදල් මිස පොහොර නොවෙයි.”
එහෙත් පොහොර සහනාධාර මුදල් ලබා දීමේදී මුදල් බැංකුගත වීමට නියමිත කාලය ඉක්මවන බව අප කුසුමන්ත පෙරේරා මහතා වෙත පෙන්වා දුන් කල ඔහු දැක්වූයේ මෙවැනි අදහසකි.
“ඔව්. පොහොර සහනාධාරය විදිහට හරිම වෙලාවට මුදල් බැංකුගත නොවන බවට වූ චෝදනාවේ ඇත්තක් තිබෙනවා. එහෙත් අද රට පත්ව තිබෙන ආර්ථික තත්ත්වය පිළිබඳව ද සලකා බලා අප යථා තත්ත්වය තේරුම් ගන්න ඕනෑ.”
සහල් මිල පිළිබඳව සහ සහල් හිඟය පිළිබඳව අර්බුදකාරී තත්ත්වයක් පිළිබඳව පසුගිය කාලයේදී ඇති වූ ගැටලුකාරී තත්ත්වය නැවත ඇති නොවීමට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳවද කුසුමන්ත මහතා යෝජනාවක් ඉදිරිපත් කරයි.
“සහල් පාලන මිල පිළිබඳව මාස හයෙන් හයට සමාලෝචනයක් කරන්න පුළුවන්. එහෙම කිරීමෙන් ඇතිවිය හැකි අනවශ්‍ය ගැටලු පාලනය කර ගැනිමට හැකියාව ලැබෙනවා.”
අද වනවිට තවත් භීතිකාවක් රට තුළ ඇති කිරීමට සමහර මාධ්‍ය ආයතන උත්සාහ කරමින් සිටියි. එනම් පසුගිය දිනවල උතුරු නැඟෙනහිර, උතුරුමැද ප්‍රදේශවල ඇති වූ ගංවතුර තත්ත්වය නිසා මහ කන්නයේ අස්වැන්න විශාල ලෙස පහළ යාමේ අනතුරක් ඇති බවය. මේ, ඒ පිළිබඳව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපතිවරයා අප වෙත දැක්වූ අදහස්ය.
“මේ කතාව මාධ්‍යවලින් මතු කරන බොරු භීතියක් විදිහටයි පෙන්වා දෙන්න පුළුවන්කම තිබෙන්නේ. මෙවැනි වර්ෂාපතනයක් දෙසැම්බර්වල මෙම ප්‍රදේශවලට ලැබෙනවා. සමහරවිට දැන්ම තියා මෙවැනි දේ සමාජගත කරන්නේ අයුතු ලාභ ලබා ගැනීමේ අරමුණ සහිතව ද දන්නේ නැහැ. අද වෙනකොට රජරට කුඩා වැව් තුන්දහසක් පමණ පිරී ගොස් තිබෙන්නේ. එය මේ කන්නයට ඉතාමත් වැදගත් විදිහටයි බලපානු ලබන්නේ. අපේ මීළඟ අස්වැන්න නෙළා ගැනීමේදී අස්වැන්නේ ඔවුන් සඳහන් කරනු ලබන විදිහේ අඩුවක්, පහළ යාමක් සිදුවීමට කිසිදු ඉඩක් නොමැති බව මට තිබෙන අත්දැකීම් අනුව පැහැදිලිව සඳහන් කරන්න පුළුවන්.”
සහල් ආනයනය
පසුගිය දිනවල රටින් සහල් ආනයනය කිරීමට ආණ්ඩුව ගත් තීරණය නිසා මෙරට සහල් ආධිපත්‍යයට බලපෑමක් සිදුවේද යන්න පිළිබඳව අප පෙරේරා මහතාගෙන් විමසූ කළ ඔහු ලබා දුන්නේ මෙවැනි උත්තරයකි.
“රටින් සහල් ගෙන්වීම නිසා මහා පරිමාණ සහල් හිමියන්ට බලපෑමක් කරන්න බැහැ. සිදුවන්නේ ඒ අවස්ථාවේ වෙළෙඳපොළේ තිබෙන අසමතුලිත තත්ත්වයක් සමනය කරගන්න හැකියාව ලැබෙනවා. මෙහි තිබෙන තත්ත්වය අනුව මූලික ලෙසම මෙවැනි සහල් ආනයනය කිරීමකින් සිදුවන එකම දේ බවට පත්වනු ලබන්නේ කුඩා මෝල් හිමියන් සහ ගොවීන් වෙත යම් බලපෑමක් එල්ල වීම පමණයි. ඒ නිසා අප නිතරම උත්සාහ කළ යුත්තේ ඇතිවන අඩුපාඩු හඳුනාගෙන ඒවා එසේ නොවන විදිහට වගබලා ගැනීමයි. ”
ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව හිටපු කෘෂිකර්ම අධ්යක්ෂවරයකු වන කේ. බී. ගුණරත්න මහතා සඳහන් කරනු ලබන්නේ මෙවැනි අදහසකි.
“අපේ රටේ සහල් හිඟයක් නැහැ. නිතරම අතිරික්තයක් තමයි තිබෙන්නේ. මෑත කාලයේදී සහල් හිඟයක් ඇති වුණේ 2022 වර්ෂයේදී පමණයි. සාමාන්‍ය විදිහට සලකා බැලුවොත් පෙනෙන දේ තමයි නිතරම මාස තුනක් ඉදිරියට මෙරට සහල් අතිරික්තයක් තිබෙන බව. 2022 සහල් හිඟයක් ඇති වුණේ පොහොර ගැටලුව මතුව ඒම නිසයි. සිදු කරනු ලබන සොයා බැලීම් අනුව මේ වර්ෂයේදී ලොකු සහල් අතිරික්තයක් තිබෙනවා.”
මේ අප සඳහන් කළේ මේ දිනවල ඇතිව තිබෙන සහල් ගැටලුව සහ එය ඇති වීමට හේතු වූ කරුණු එම තත්ත්වය විසඳීමට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳවය. ඉහත සඳහන් කරුණු නිසි ලෙස ඉටුකළහොත් මෙරට සහල් පිළිබඳව අර්බුදයක් ඇතිවීමට හේතුවක් නැත. පාරිභෝගික ඔබට වෙළෙඳපොළේ යම් අකටයුත්තක් සිදු වේ නම් 1977දුරකතන අංකය ඒ සඳහා භාවිත කරන්න.
උදිත ගුණවර්ධන
Be First to Comment