Press "Enter" to skip to content

නාමල්ගේ නීති උපාධිය ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නීති විභාගයට පෙනී සිටි ආකාරය පිළිබඳ මීට වසර 11කට පෙර කෙසෙල්වත්ත පොලීසියට කළ පැමිණිල්ල සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ පවත්වා නීති ක්‍රියාමාර්ග ගන්නා ලෙස සමාජ ක්‍රියාකාරිකයකු වන ජාමුනි කමන්ත තුෂාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (16) නැවත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

අනෙක් විභාග අපේක්ෂකයින්ගෙන් වෙන්ව වෙනම කාමරයක් තුළ තවත් නීතිඥවරුන් දෙදෙනෙකුගේ සහාය ඇතිව නාමල් රාජපක්ෂ විභාගයට පෙනී සිටි බවට එම පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවැසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය. නාමල් රාජපක්ෂ නීති උපාධියට පෙනී සිටින අවස්ථාවේ එහි සිටි තවත් ශිෂ්‍යයෙකගේ සටහනක් මේ දිනවල සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වෙනවා. මේ වන විට විදේශගතව සිටින ඔහු කියන ආකාරයට කාමරයක් තුළ තනි පුද්ගලයෙකුට නීති විභාගය ලියන්න දෙන බවට විභාග ශාලාධිපතිට පැමිණිලි කරන්න උත්සාහ කළත් එය ප්‍රතික්ෂේප කරලා. විදුහල්පතිවරයාට පැමිණිලි කරන්න උත්සාහ කළත් ඔහු ඒ අවස්ථාවේ නීති විද්‍යාලයේ සිට නැහැ. රෙජිස්ට්‍රාර්වරයා පැමිණිල්ල ප්‍රතික්ෂේප කරලා. මේ ගැන එවකට අධිකරණ අමාත්‍යාංශ ලේකම් සුහද ගම්ලත්ට වාචිකව පැමිණිලි කළත් ඔහු ඒ පැමිණිල්ල ලියා ගැනීම ප්‍රතික්ෂේප කරලා. කෙසෙල්වත්ත පොලීසියට ගියත් පැමිණිල්ල ප්‍රතික්ෂේප කරලා.

මේ සිද්ධිය මාධ්‍ය මඟින් ප්‍රචාරය වුණු නිසා 2010 -12 -03 කාලෙ හිටපු පොලිස්පතිවරයා කෙසෙල්වත්ත පොලිසියට පැමිණිල්ල ලියා ගන්න කියනවා. නමුත් ඊට පසුවදා ඔහු මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි කරනවා නාමල් රාජපක්ෂලා නීති උපාධිය වංචනිකව කළ බවට.

ඊට පසුව නීති විද්‍යාලයේ නිත්‍ය දුරකතනයෙන් ඔහු අමතන රෙජිස්ට්‍රාර්වරයා ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙයි කියලා ඔහුට තර්ජනය කරනවා. මොහුගේ නිවසට බයිසිකලයකින් දෙදෙනෙක් ඇවිත් තර්ජනය කරනවා. ලංකාවේ ඉන්න බැරි නිසා පසුව ඔහු විදේශගත වෙනවා.

හොරු අල්ලන ආණ්ඩුවක් තියෙන්නේ. හැබැයි අපිට හි‍ෙතනවා ආණ්ඩුව හොරු අල්ලනවා වෙනුවට හොරු ආණ්ඩුව අල්ලලා කියලා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජ්‍ය පරීක්ෂණ කරන රාජ්‍ය ආයතනවල ඉන්න නිලධාරීන් පහුගිය රජයන්වලින් පත් කරපු අය නිසා මේ පරීක්ෂණ නිවැරදිව සිදු වෙනවාද සැකයි.

වහාම මේ පැමිණිල්ල විභාග කරලා නීතිය, අධ්‍යාපනය කාටත් පොදුව සාධාරණව ඉෂ්ට වෙන රටක් බවට මේ රට පත් කළ යුතුයි.

රන්මලී සෝමසිරි

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *