තමන් මින් ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීමට අපේක්‍ෂා නොකරන බවත් මේ වනවිට එම පක්‍ෂයේ සභාපතිවරයා හා ලේකම්වරයා ලෙස කටයුතු කරන නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු දෙදෙනා සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොදක්වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (16දා) සිය නීතිඥවරයා මගින් අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
වගඋත්තරකාර මෛත්‍රීපාල සිරිසේන මහතා කළ එම කරුණු දැක්වීම් සලකා බැලූ අභියාචනාධිකරණය මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ එම පක්‍ෂයේ විධායක සභිකයකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා විසින් ගොනු කර තිබූ නඩුව සමථයකට පත්කර ගැනීමට අවසර ලබා දුන්නේය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කොට තිබියදීත් එකී ධුරයේ තවදුරටත් කටයුතු කිරීම මගින් මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා කරමින් මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා ගොනු කර තිබූ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා ඩී. ශෂි මහේන්ද්‍රන් යන මහත්වරුන් හමුවේදී කැඳවිණි.
එම කරුණු අනුව එම පෙත්සම සමථයකට පත් කර ගැනීමට අවසර ලබාදෙන ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කළ ඉල්ලීමට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා විරුද්ධත්වයක් නොදැක්වූයෙන් එම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබාදුන් විනිසුරු මඬුල්ල පෙත්සම නිශ්ප්‍රභ කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක
Be First to Comment