හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයකට වෙඩි තැබීමේ රංගනය මෙහෙය වූයේ යැයි කියන වැඩ තහනමට ලක්ව සිටින සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතාට අයත් යැයි කියන රුපියල් කෝටි ගණනක් වටිනා සුඛෝපභෝගී බී. එම්. ඩබ්ලිව්. වර්ගයේ කාර් රථයක් ඇතුළු වාහන තුනක් හා ඉඩම් දෙකක් තහනම් කරමින් පනවා තිබූ තහනම් නියෝගය ලබන පබරවාරි 18 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (16දා) නියෝග කළේය.
සංජීව මහානාම මහතා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මාර්ගයෙන් අයථා ලෙස මුදල් උපයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන මේ දක්වා අවසන් වී නොමැති බව පෙන්වා දෙමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අයථා මුදල් හා දේපළ උපයා ගැනීමේ විමර්ශන අංශය වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් කළ කරුණු දැක්වීම් සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේය.
ඒ අනුව සී.බී.සී. 7199 දරන කාර් රථය, අංක සී. ඒ. ඒ. 8210 දරන කාර් රථය හා අංක එල්. එල්. 9825 දරන ලොරි රථයක්, උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නුවරගම් කෝරළයේ පිහිටි අක්කර හතරකට අධික ඉඩම් කොටස සමගිපුර ගමේ රජයේ ඉඩමට මායිම්ව පිහිටි අක්කර එකකට අධික ඉඩම් කොටසක් එලෙස තහනමට ලක් කෙරිණි.
ඒ. ජේ. ඒ. අබේනායක






Be First to Comment