පසුගියදා තම පවුල් ආරවුලක් සම්බන්ධයෙන් ජනප්‍රිය රංගන ශිල්පිනියක් බොරලැස්ගමුව පොලීසිය වෙත දුරකථනයෙන් කළ පැමිණිල්ල විභාග කිරීමට අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව රාජකාරියේ නියුතු සැරයන්වරයෙකු ඇතුළු කොස්තාපල්වරු දෙදෙනෙකු ඇයගේ නිවසට ගිය අවස්ථාවේ ඇයගේ සැමියා පොලිස් සැරයන්වරයාට පහර දී ඇත.
පොලිස් සැරයන්වරයා මේ වන විටත් කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නා අතර ඔහුගේ ඇහි බැමට මැහුම් දමා ඇත. ඇසට සහ බෙල්ලට ද හානි වී ඇත.
එම සිද්ධියේදී රංගන ශිල්පිනියගේ සැමියා පොලිස් නිලධාරීන් වෙත අනපේක්ෂිත ලෙස ප්‍රහාරයක් එල්ල කළද රාජකාරී ගිණිඅවි දරා සිටි එම පොලිස් සැරයන්වරයා ඇතුලු අනෙකුත් කොස්තාපල්වරු දෙදෙනා තම ගිණි අවි ක්‍රියාත්මක කිරීමට අවස්ථානෝචිතව ක්‍රියාකර නොමැති බව වාර්තා වේ.
සැරයන්වරයාට ලේ ගැලීම් සහිත තුවාලයක් සැකකරු විසින් සිදුකළ ද ඔහුව මෙල්ල කොට අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පියවර ගන්නවා මිස ඊට පළිගැනීමෙන් හෝ ප්‍රචණ්ඩත්වයෙන් පිළිතුරු දීමට සැරයන්වරයා ඇතුළු පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ක්‍රියාකොට නොමැති බව ද වාර්තාවේ.
අවම බලය අනිසි ලෙස භාවිතා කිරීම් පොලිස් ඉතිහාසයේ කෙතරම් වාර්තා වී තිබුණ ද මෙම අවස්ථාවේ පොලිස් සැරයන්වරයා ඇතුළු අනෙකුත් පොලිස් කොස්තාපල්වරු දෙදෙනා අවස්ථානෝචිතව එම අවස්ථාවේ ක්‍රියාකර ඇත්තේ ඒ සියළු කළු පැල්ලම් වලට ආදර්ශයක් සපයමිනි. පසුගිය කාලවල අත්අඩංගුවට ගැනීම්වලදී අවම බලයට එහා යමින් ගිණි අවි භාවිතා කර මෙන්ම නීත්‍යානුකූල මිනීමැරීම් ලෙස හුවාදක්වමින් සැකකරු මරණයට පත්කිරීම් වැනි සිද්ධි ජනතාවට නොරහසකි. යම් කිසි ලෙස එලෙස ගිණිඅවි භාවිත කරමින් අවම බලය අවභාවිත කිරීමක් පොලිස් නිලධාරීන් අතින් ඒ මොහොතේ සිදුවුණි නම් පවුලේ ආරවුල විසඳෙනුයේ සැකකරු ජීවිතක්ෂයට පත්වෙමින් හෝ පූර්ණ ආබාධිත තත්ත්වයකට පත්වීමකිනි.
එලෙස ගත් කළ මෙම සිද්ධියට මුහුණ දුන් පොලිස් සැරයන්වරයා ඇතුළු කොස්තාපල්වරුන් දෙදෙනා ක්‍රියාකර ඇති ආකාරය සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම ආදර්ශයක් සපයයි.
මෙම පහරදීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බැවින් සමානත්වය, සාධාරණත්වය සහ යුක්තිය අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇතැයි අපගේ අපේක්ෂාවයි.
Be First to Comment