මහකන්නයේ අස්වනු නෙළීමට පෙර වී මිලදී ගැනීම සඳහා නව සහතික මිලක් කඩිනමින් හඳුන්වා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ සහ සම්බන්ධ ආයතන පහක් එක්ව සැලසුම් සකස් කරමින් ඇතැයි කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා පැවැසීය.
නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ නව වසරේ රාජකාරි අරඹමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති උත්සවයේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙලෙස ද කීවේය.
“වී සඳහා නව සහතික මිල හඳුන්වාදීමේදී ගොවියාට සාධාරණ මිලක් හිමිවෙනවා. පාරිභෝගිකයාට ද ඔරොත්තු දෙන අන්දමේ මිලක් දෙනවා. මේ සඳහා ගොවි නායකයන්ගේ අදහස් සහ යෝජනා ගන්නවා. පාරිභෝගිකයාත්, ගොවියාත් ආරක්ෂා වන ලෙස සැකසෙන වී සඳහා වන නව සහතික මිල වී නිෂ්පාදන මිල ගණන් බැලීමෙන් අනතුරුව සැකසෙනවා.
මහකන්නයේ වී මිලදී ගැනීමට රජයේ වී ගබඩා ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. රජය වී මිලදී ගන්නවා සේම කුඩා හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ට ද වී මිලදී ගැනීමට ඇති බාධා ඉවත් කරනවා.
කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් සියයට 75ක් පමණ මේ වන විට වැසී යෑමේ අවදානමකට මුහුණපා තිබෙනවා. රජය, කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් තුන් පාර්ශ්වයම සක්‍රීය කරමින් මේ ගැටලුව විසඳිය යුතුයි. වී සඳහා මෙන්ම හාල් සඳහා ද නිසි මිලක් නියම කිරීම රජය විසින් ඉදිරි කාලයේදී සිදු කරනවා.”
බුද්ධිකා ඉඹුලාන
Be First to Comment