අල්ලස, දූෂණය හා වංචාව සමඟ 76 වසරක් නිවැරදි දිශාවට ගමන් නොකළ රට ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩපිළිවෙළ ඔස්සේ නිවැරදි දිශාවට යොමු කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා පැවැසීය.
පසුගිය වසරේ දී ආර්ථික හා සමාජයීය වශයෙන් ලබාගත් ප්‍රගතිය පදනම් කර ගනිමින් 2025 වසරේ දී රටේ ආර්ථිකය ඉතාමත්ම ඉක්මනින් ඉහළට එසවීම අත්‍යවශ්‍ය කාරණයක් බවත් ඒ සඳහා එළඹෙන අය වැයේ දී ප්‍රතිසංස්කරණ මාලාවක් හඳුන්වා දීමට රජය කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවත් ඒ මහතා කීය.
නව වසරේ දී ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා රජය හමුවේ පවතින අභියෝග සම්බන්ධයෙන් අදහස් දක්වමින් වසන්ත අතුකෝරාළ මහතා මෙසේද පැවසුවේය.
“වසර 76ක කාලය තුළ අපිරිසිදු ලංකාවක් ලෙස ක්‍රියාත්මක වූ රට වත්මන් රජය පිරිසිදු ශ්‍රී ලංකාවක් ලෙස ගොඩනඟන්න සැලසුම් කරනවා. අල්ලස, වංචාව හා දූෂණය වගේ දේවල්වලට අමතරව එම කාලයේ දී නිවැරදි දිශාවක් කරා අපේ ආර්ථිකය හා සමාජය මෙහෙයවන්න අපට හැකියාව ලැබුණේ නැහැ. මෙහි අවසන් ප්‍රතිඵලය ලෙස තමයි රට අගාධය කරා ගමන් කළේ. මින් මිදීම සඳහා 2024 වර්ෂයේ යම්කසි පදනමක් අපි සකස් කරගෙන තිබෙනවා. විශේෂයෙන්ම ආර්ථික වර්ධනය 5%ක මට්ටමක ගෙන ඒම ධනාත්මක ලක්ෂණයක්. පසුගිය වසරේදී කර්මාන්ත අංශයේ වර්ධනය 10%කට ආසන්න මට්ටමක පවත්වාගෙන ආවා. උද්ධමනය සැලකිය යුතු මට්ටමකින් පාලනය කර තබා ගැනීමත් ජයග්‍රහණයක්. පොලී අනුපාතය රටට අවශ්‍ය වන අයුරින් වගේම ව්‍යාපාරික ප්‍රජාව දිරිමත් මට්ටමකට ගෙන ආවා” යැයිද හෙතෙම කීවේය.
මහ බැංකුව සතු සංචිත වැඩිකර ගැනීමටත් රුපියලේ අගය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමටත් අපිට පසුගිය වසරේ දී හැකියාව ලැබුණා. මේ තුළින් අපි ආර්ථිකය ඉහළට එසවීම සඳහා අවශ්‍යය යම්කිසි පදනමක් මේ වනවිට ගොඩනඟා ගෙන තිබෙනවා. ලංකාව සතු සම්පත් ප්‍රමාණය, මානව ප්‍රාග්ධනය වගේම මේ වනවිට සමාජය තුළ ඇතිව තිබෙන පිබිදීම ආදි සියල්ල පදනම් කර ගනිමින් මෙම වසරේ දී රටේ ආර්ථිකය 8% – 10% මට්ටමකට ගෙන ඒමට ක්‍රියා කළ යුතුයි. එවැනි ආර්ථික ප්‍රගතියක් අත්කර ගැනීමට හැකි වුවහොත් විදේශීය හා දේශීය ණය ගෙවීම සම්බන්ධෙයන් අවදානමක් නැවත මතුවන්නේ නැහැ. ආර්ථිකය වගේම සමාජයත් ස්ථාවර කරමින් මේ රට වේගයෙන් සංවර්ධනය වන රාජ්‍යයක් බවට පත් කළ යුතුයි. අල්ලසට, දූෂණයට, වංචාවට සමාජය තුළින්ම විරෝධයක් මතුව තිබෙනවා. ඒවායින් මිදුණු රාජ්‍යයක් බවට මේ රට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාව දේශපාලනඥයින් මෙන්ම ජනතාවත් පෙන්නුම් කරමින් තිබෙනවා. වත්මන් රජය මෙම තත්ත්වයන් තේරුම් ගෙන ක්ලින් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා රට මෙහෙයවන්න ඕන යැයිද කීවේය.
Be First to Comment