Press "Enter" to skip to content

විදෙස්ගත සැමියාට විහිළුවක් කරමින් තොණ්ඩුව බෙල්ලට දාගත් අනුත්තරා ජීවිතක්ෂයට

පිටරටක සිටින තම සැමියා හා වීඩියෝ ඇමතුමකින් සම්බන්ධ වෙමින් ඔහුට විහිළුවක් කිරීම සඳහා එල්ලී මැරෙන බව පවසමින් ගෙලට තොණ්ඩුවක් දමා ගත් විසි අට හැවිරිදි පෙර පාසල් ගුරුවරියක් ගෙල සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අංගොඩ, ගොඩැල්ල මාවතේ පදිංචිව සිටි අනුත්තරා සිරිමාන්න නමැති 28 හැවිරිදි කාන්තාවක් බව මුල්ලේරියාව පොලීසිය සඳහන් කරයි.

අනුත්තරා විවාහවී ඇත්තේ මීට වසර තුනකට ඉහතදීය. ඇයගේ සැමියා විදෙස්ගතව රැකියාවක නිරතව සිටී. ඇය තම මහගෙදර පදිංචිව සිටින අතරතුර සැමියාගේ ද උදවු උපකාර ඇතිව එම නිවෙස පිටුපස තමාටම කියා නිවෙසක් ද ඉදි කරගෙන තිබේ.

එම නව නිවෙසට සුබ මොහොතින් යෑමට තිබුණේ තවත් දින කිහිපයකි. එම අවස්ථාවට සැමියා ද පැමිණීමට නියමිතව තිබුණි. මියගිය අනුත්තරාගේ දේහය තැන්පත් කර තිබුණේ ද ඒ නව නිවෙසේය.

ඉකුත් සෙනසුරාදා අනුත්තරා තම කාමරයේ ඇඳක් මත පුටුවක් තබා ඒ මතට නැඟ ලණුවකින් වහලයේ එල්ලන ලද තොණ්ඩුවක් ගෙලට දමාගෙන සැමියාට දර්ශනය වන අයුරින් පසුබිමෙන් වීඩියෝ දුරකතනය ක්‍රියාත්මක කර රඟපෑමක නිරතව ඇත්තේ සැමියාට විහිළුවක් කිරීමේ අපේක්ෂාවෙන් බව පොලීසිය පවසයි. ඒ විමර්ශනවලින් හෙළිවී ඇති තොරතුරු ඔස්සේය.

එම අවස්ථාවේදී කලබලයට පත්වූ ඇයගේ සැමියා නිවෙසේ සිටින ඥාතීන්ට වහාම දුරකතන ඇමතුම් ගනිමින් සිය බිරිය ගෙල වැලලා ගැනීමට යන බව පවසා එය වළක්වා ගැනීමට උත්සාහයක නිරතව ඇත. කෙසේ වෙතත් නිවෙසේ ඥාතීන් එම ස්ථානයට එන විටත් ඇය නැඟ සිටි පුටුව පෙරළී යෑමෙන් ගෙල සිරවී අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

දියණියන් හතර දෙනකුගෙන් යුත් පවුලේ බාලයා වන අනුත්තරා හිඹුටාන ප්‍රදේශයේ ළදරු පාසලක ගුරුවරියක ලෙස සේවය කරමින් සිට ඇත. ඇය ගමේ කා අතරත් සිත් දිනා ගත් චරිතයක්ව සිට ඇති අතර, සෑම පොහෝ දිනයකම තම මව සමඟ හේනවත්ත ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ සිල් සමාදන් වීමට පුරුදුව සිට ඇත.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද (08) සවස උඩුමුල්ල සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

මුල්ලේරියාව සිරිසේන ගමගේ

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *