Press "Enter" to skip to content

ඊශ්‍රායල් යන්න සිටි අයගෙන් 80%ක් යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත්

ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 80ක ප්‍රමාණයක් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වී තිබේ.

නිසි ශාරීරික යෝග්‍යතාවක් නොමැති පිරිස් ගොස් අදාළ රැකියාව නොකර වෙනත් රැකියා කිරීමට පෙලඹීමෙන් මෙරටට ලැබී තිබෙන කෝටාව අහිමිවීමේ අවදානමක් මතුව තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වාදෙයි.

ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා පුහුණුව සම්පූර්ණ කළ පිරිසක් වෙත ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් සිදුකර තිබෙන බව ද එහිදී මිනිත්තු 10ක් තුළ

කිලෝමීටර් දෙකක පමණක් දුරක් දිවීමට සහ කිලෝග්‍රෑම් 50ක පමණ වැලි කොට්ටයක් මීටර් 100ක දුරක් රැගෙන යාමටත් සිදුව තිබෙන බව ද පෙන්වාදෙන එම කාර්යාංශය එහිදී කිහිපදෙනෙකුට ශාරීරික අපහසුතා ඇතිවීම හේතුවෙන් මූලික වෛද්‍ය ප්‍රතිකාර සිදුකර තිබෙන බව ද කියා සිටී.

කෙසේ වුවද මෙවැනි පිරිසක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ගොස් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයේ දී දිවීම සඳහා ලබාදුන් කාලය වැඩිකර දෙන ලෙස ඉල්ලීමක් කර තිබෙන නමුත් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් හිමිවී නොමැත.

ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ සේවය කිරීම සඳහා යහපත් ශාරීරික යෝග්‍යතාවකින් පසුවිය යුතු බැවින් අදාළ

ශාරීරික යෝග්‍යතාව සිදුකරන බව ද කාර්යාංශය සඳහන් කරයි.

ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා 10,000ක කෝටාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ලැබී තිබෙන අතර පසුගිය කාලයේ 2000ක පිරිසක රැකියා සඳහා පිටත්කර යවා තිබෙන නමුත් එයින් සියයට 80ක පිරිසක් අදාළ ක්ෂේත්‍රයේ රැකියාව කිරීම සඳහා යහපත් ශාරීරික යෝග්‍යතාවක නොමැතිවීම හේතුවෙන් එම රැකියා අතහැර වෙනත් රැකියාවලට යොමුව තිබෙන බව ද පෙන්වා දෙයි.

අනතුරුව ඊශ්‍රායලයෙන් මෙරටට රැකියා ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සිදුකර එරටට යවන බව ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මහින්ද අලුත්ගෙදර

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *