Press "Enter" to skip to content

මේ ආණ්ඩුවට ඡන්දය දුන්නේ රථවාහනවල කොටස් ඉවත් කරන්න නෙවෙයි

රටේ ජනතාව වත්මන් රජයට ඡන්දය දී තිබෙන්නේ දූෂණය, වංචාව සහ අල්ලස වළක්වා රට පිරිසුදු කිරීමට මිස රථවාහනවල අමතර කොටස් ඉවත් කර රථවාහන පිරිසුදු කිරීමට නොවන බව හිටපු ඇමැති සරත් වීරසේකර මහතා ප්‍රකාශ කරයි.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම Clean Sri Lanka නම් දූෂණය වළක්වා, හොරු ඇල්ලීම, අල්ලස් ගැනීම නැවැත්වීම සහ රට පිරිසුදු කිරීම බව පෙන්වා දෙන ඒ මහතා මේ අසරණ ත්‍රීවීල්, බස් රථ සහෝදරයන්ට අනවශ්‍ය ලෙස හිරිහැර කරන්න එපා යැයි ඉල්ලීමක් කරන බවද පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ හිටපු ඇමැති සරත් වීරසේකර මහතා,

“රොහින්ග්‍යා සරණාගතයන් ශ්‍රී ලංකාවට පැමිණෙන එක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා අපේ රටට. මහජන ආරක්ෂක ඇමැතිවරයා පැහැදිලිව කිව්වා බුද්ධි තොරතුරු අනුව ලක්ෂයක් පමණ සරණාගතයන් යැයි කියා ගන්නා පිරිස් ශ්‍රී ලංකාවට එන්න තිබෙනවා කියලා. ඒ වගේම එතුමා පැහැදිලිව ප්‍රකාශ කළා මේ පිරිස සරණාගතයන් නොවේ නීති විරෝධීන් ලෙස බෝට්ටුවලට මුදල් දීලා පැමිණෙන පිරිස කියලා. එය නීති විරෝධී සංක්‍රමණිකයෝ කියලා ඉතා පැහැදිලිව එතුමා ප්‍රකාශ කළා. එක්සත් ජාතීන්ගේ සංගමයේ දැනටමත් අපේ රටට විරුද්ධව අපි සමූල ඝාතනය කළා කියලා, අපි යුද අපරාධ කළා කියලා යෝජනා ගෙන එන තත්ත්වයකට ඇවිල්ලා තිබෙනවා. එසේ තිබිය දී කෙසේ ද අපිට බල කරන්නේ මේ වගේ සරණාගතයන් අපිට භාර ගන්න කියලා. කුමන්ත්‍රණයක් නැති නම් කවුද මේවා කරන්නේ කියලා යම් මෙහෙය වන බලවේගයක් ති‍බෙන බව අපිට පේනවා. මේ සියලුම පිරිස ඉස්ලාම් ආගම අදහන පිරිසයි. අපේ රටේත් මුස්ලිම් ජනතාව සිටිනවා. නමුත් අපේ රටේ මුස්ලිම් ජනතාව මේ සිංහල බෞද්ධ සංස්කෘතියට මුසු වෙලා ඔවුන් සිටින්නේ. ඉතා සාමදානයෙන් අපේ සිංහල සහ මුස්ලිම් පිරිස එකම සහෝදරයෝ වගේ ජීවත් වෙනවා.

Clean Sri Lanka කියලා වැඩසටහනක් ආරම්භ කරලා මේ රජය අවංක චේතනාවකින් මේ රට Clean කරන්න පටන් ගන්න ඇති. ජනතාව ඡන්දය දුන්නේත් මේ අය රට ගත්තෙත් මේ රට පිරිසුදු කරනවා කියලයි. එහි අර්ථය වුණේ මේ රටේ දූෂණය වැළැක්වීම, වංචාව වැළැක්වීම සහ අල්ලස වැළැක්වීම කියන අර්ථයෙන් මේ පිරිසුදු කරනවා කිව්වේ.

Clean Sri Lanka තුළින් ඒ කුණු ගොඩවල්, කානු පවිත්‍ර කරනවා නම් හොඳයි. ඒ වගේම මාධ්‍යවලින් අපි දැක්කා ආපනශාලාවල අපිරිසුදුකම. මේවත් ඒ වැඩසටහන තුළින් පිරිසුදු කළොත් හොඳයි. ඔය ත්‍රීවිල්වල, පෞද්ගලික බස්රථවලට යොමු කරන කාලය නවත්වලා මේවා සඳහා කාලය යොමු කළොත් අපිට Clean Sri Lanka එකක් සොයා ගන්න පුළුවන්.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම Clean Sri Lanka නම් දූෂණය වළක්වා, හොරු ඇල්ලීම, අල්ලස් ගැනීම නැවැත් වීමයි. ඒ වගේම රට පිරිසුදු කිරීමයි.

මහින්ද අලුත්ගෙදර

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *