Press "Enter" to skip to content

ඉන්දියාව සමග එක්ව ඩිජිටල් හැඳුනුම්පත හැදීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෑ

ඉන්දියාව සමග එක්ව හඳුන්වාදීමට නියමිත ඩිජිටල් හැඳුනුම්පත සකස් කළත් ඉන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැතැයි ද එය සියයට සියයක් ආරක්ෂිත යැයි ද ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමැති එරංග වීරරත්න මහතා ඊයේ (14දා) පැවසීය.

මෙම හැඳුනුම්පත සකස් කිරීමට විශාල මුදලක් වැය වන බවත් ඉන් සියයට 50ක් පමණ ඉන්දියානු ආධාර මගින් සිදුකිරීමට අදහස් කරගෙන සිටින බවත් ඔහු පැවසීය.

ඩිජිටල් හැඳුනුම්පත ඇඟිලි සලකුණු, මුහුණ සහ ඇසේ කළු ඉංගිරියාව ඇසුරු කරගෙන සකස් කරන බවත්, ඇඟිලි සලකුණු ගැනීම කඩදාසියක් මත නොව ඩිජිටල් ආකාරයට ගන්නා බවත් ඔහු කීය. ඩිජිටල්කරණය රජයේ ප්‍රමුඛ කාර්යයක් බවත් ඉඩම් ගනුදෙනුවලදී ලොකු ගැටලු මතු වී තිබෙන අතර ඩිජිටල්කරණයෙන් එය නිසියාකාරයට සිදුකරගත හැකි බවත් ඔහු කීය.

පසුගිය රජය සමයේ ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීමේදී ජීව දත්ත තොරතුරු සමග එය සිදුකිරීමට නියමිතව තිබුණත් අද එම තත්ත්වය වෙනස් කර රජයේ නිලධාරීන්ට එම බලය ලබාදී ඇතැයි ද ඒ මහතා කීය. රජයේ නිලධාරීන්ට එම ක්‍රමවේදය පුහුණු කිරීමට කටයුතු කරන බවද ඔහු කීය.

නව ඩිජිටල් හැඳුනුම්පත මේ මාසයේ සිට හඳුන්වා දීමටත් ලබන මස සිට එය නිකුත් කිරීමටත් අදහස් කරගෙන සිටින බව කී නියෝජ්‍ය ඇමැතිවරයා දැනට හැඳුනුම්පත් ලබාගෙන සිටින පුද්ගලයන්ට නව ඩිජිටල් හැඳුනුම්පත මාස හයකට පමණ පසුව සකස් කරදීමට අදහස් කරන බවද වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *