Press "Enter" to skip to content

නදී පෙරේරා ඇතුළු කණ්ඩායම Singapore International Masters Athletics තරගාවලියේදී පදක්කම් රැසක් හිමිකර ගනී

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (Citizens Development Business Finance PLC – CDB) සමාගමේ කාර්යමණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් සිව් දෙනෙකු, පසුගියදා පැවති Singapore International Masters Athletics Championship 2023 තරගාවලියේදී කැපීපෙනෙන දක්ෂතා පෙන්නුම් කරමින් රටට ගෞරවයක් ගෙන ඒමට සමත් වූහ. මෙම තරගාවලිය මැලේසියාවේ Mount Austin, (Johor) හි Johor ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණි.

මෙම තරගාවලියේදී CDB සමාගමේ සාමාජික සාමාජිකාවෝ ඉසව් කිහිපයක ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූහ. සමාගමේ ජ්‍යෙෂ්ඨ තනතුරු දරන මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම රාජකාරි කටයුතුවල නියැලෙන අතරම මෙලෙස මවුබිමට කීර්තියක් අත්කර දීමට සමත් වීම විශේෂත්වයකි.

වයස අවුරුදු 35 ට වැඩි වයස් කාණ්ඩය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය තුළදී ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පදක්කම් 51 ක් දිනාගැනීමට සමත් වූ අතර මේ අතරින් CDB කාර්ය මණ්ඩලයේ සේවය කරන සාමාජික සාමාජිකාවන් විසින් පහත සඳහන් ජයග්‍රහණ හිමිකරගන්නා ලදි.

CDB සමාගම වෙනුවෙන් වෙළඳ සේවා මළල ක්‍රීඩා කණ්ඩායමේ නායිකාව ලෙස මෙන්ම Singapore International Masters තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කළ නදී පෙරේරා, තරගාවලියේදී පදක්කම් 4 ක් දිනාගැනීමට සමත් විය. ඇය විසින් මීටර් 200 ඉසව්වේ ලෝකඩ පදක්කම මෙන්ම, දුර පැනීම, තුන් පිම්ම සහ මීටර් 100 කඩුලු මතින් දිවීම යන ඉසව්වල පදක්කම් දිනාගන්නා ලදි.

මේ අතර ධනංජය ලියනගේ තුන් පිම්ම ඉසව්වේ පිරිමි අංශයේ රිදී පදක්කම හිමිකර ගැනීමට සමත් වූ අතර, චතුර වෑකඩපොළ සහ ෂවින්ද්‍ර ප්‍රනාන්දු ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් 3 බැගින් දිනාගැනීමට සමත් වූහ. මේ අතරින් චතුර වෑකඩපොළ මීටර් 400 ඉසව්වේ රිදී පදක්කම සමග මීටර් 100 සහ 200 ඉසව්වල ලෝකඩ පදක්කම් හිමිකරගත් අතර, ෂවින්ද්‍ර ප්‍රනාන්දු උස පැනීමේ ඉසව්වේ රිදී පදක්කම සමග දුර පැනීම සහ මීටර් 110 කඩුලු මතින් දිවීම යන ඉසව්වල ලෝකඩ පදක්කම් හිමිකර ගැනීමට සමත් විය.

මෙම ජයග්‍රහණ, CDB සාමාජික සාමාජිකාවන්ගේ අධිෂ්ඨානය හා කැපවීම මෙන්ම ක්‍රීඩා සඳහා ඔවුන් තුළ ඇති උනන්දුව නැවත වරක් සනාථ කරයි. එමෙන්ම එය තම සාමාජික සාමාජිකාවන්ගේ කුසලතාවන් වැඩිදියුණු කරමින්, ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතියට උරදීම සඳහා CDB සමාගම දරන උත්සාහයට මනා සාක්ෂියක්ද වේ.

More from ක්‍රීඩා පුවත්More posts in ක්‍රීඩා පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *