Press "Enter" to skip to content

හම්බන්තොට තෙල් පිරිපහදුවට ඩොලර් බිලියන 3.7ක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිවුදින චීන රාජ්‍ය සංචාරයේදී මෙරටට හිමි වූ විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා චීනයේදී ඊයේ (16) පෙරවරුවේ අත්සන් තැබිණි.

අමෙරිකානු ඩොලර් බිලියන 3.7ක ආයෝජනයක් වන මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතර මෙම ගිවිසුම අත්සන් තැබිණි.

චීනයෙන් ශ්‍රී ලංකාවට හිමි වූ මෙම දැවැන්ත ආයෝජනය මෙරට ආර්ථික වර්ධනයට මෙන්ම හම්බන්තොට ප්‍රදේශයේ අඩු අදායම්ලාභී ජනතාවගේ ජීවනෝපායමාර්ග ද ශක්තිමත් කිරීමට දායක වනු ඇත.

ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සයිනොපෙක් සමාගම ඩොලර් බිලියන 3.7ක ඍජු විදේශ ආයෝජනයක් යටතේ මෙරට ඉදිකිරීමට නියමිත මෙම තෙල් පිරිපහදුව තෙල් බැරල් ලක්ෂ 02ක ධාරිතාවකින් යුක්ත අතර ඉන් අතිවිශාල ප්‍රමාණයක් අපනයනය කිරීමට සැලසුම් කර තිබේ. එසේම ඉතා ඉක්මණින් මෙහි ප්‍රතිලාභ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට හිමිවේ.

මේ අතර මේ සංචාරයේදී ශ්‍රී ලංකාව හා චීනය අතර අවබෝධතා ගිවිසුම් 15 කට අත්සන් තැබූ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

එම ගිවිසුම්වලට පෙරේදා (15) අත්සත් තැබූ අතර එම අවබෝධතා ගිවිසුම් පහළොවම අපේ රටේ ආර්ථිකයටත් අපේ රටේ අධ්‍යාපනය හා මාධ්‍ය සංස්කෘතියටත් ඉතාම වැදගත් වන බවත් ඇමැතිවරයා කීවේය.

හම්බන්තොට නව ආයෝජනය සඳහා ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත්, ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන්ග්, චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ යන මහත්වරුද ඊයේ (16) එක්ව සිටියහ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *