Press "Enter" to skip to content

වාහන ආනයනයට ඉඩ දී රුපියල බාල්දු කරන්න එපා

සුළු පිරිසක් සතුටු කිරීම සඳහා වාහන ආනයන කිරීමට ඉඩ දී රුපියල බාල්දු වීමට ඉඩ නොතැබිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පැවසීය.

ජනතාවට තවත් බදු බර පැනවුවහොත් ගෙවා ගැනීමට නොහැකිව රටේ ආර්ථිකය විකෘති තත්ත්වයකට පත්වන බවත් වාහන ගෙන්වීම විවෘත කිරීමට පෙර රුපියල බාල්දු නොවන සේ ආදායම් සොයා ගැනීමට හැකි වන ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.

කොළඹදී ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කරුණානායක මහතා මේ බව සඳහන් කළේය.

වාහනයක් රුපියල් ලක්ෂ දොළහකට දෙන බවටත් ඉන්ධන මිල අඩු වන බවටත් දුන් පොරොන්දු මත ජනතාව අලුත් ආණ්ඩුවට ඡන්දය ලබාදුන් බවත් ආනයනය කරන තරමට අපනයන සිදු නොවුණහොත් රුපියල දෙදරීමට පටන් ගන්නා බවත් කීය. මේ වසරේ රාජ්‍ය ආදායම වශයෙන් රුපියල් බිලියන පන්දහසක් අවශ්‍ය වෙන බැවින් ආයෝජන දිරිගැන්වීම අනිවාර්යෙන්ම කළ යුතු බව පෙන්වාදුන් මන්ත්‍රීවරයා රටට පැමිණි නැව් ආපසු හැරීයාම රටට අහිතකර තත්ත්වයක් බවත් සඳහන් කළේය.

එක රටක් පමණක් තෘප්තිමත් වන ලෙස කටයුතු කිරීම විදේශ ප්‍රතිපත්තිය නොවිය යුතු බවත් ඉන්දියාව, අමෙරිකාව, ජපානය සහ යුරෝපයේ සියලුම රටවල් සමඟ මිත්‍රශිලීව කටයුතු කිරීම කළ යුතු බවත් පෙන්වාදුන් මන්ත්‍රීවරයා එම රටවල් සමඟ වෙළඳ ගිවිසුම් ඇතිකර ගත යුතු බවත් සඳහන් කළේය. ජේ. ආර්. ජයවර්ධන මහතා ආරම්භ කළ විවෘත ආර්ථිකය ඉදිරියටත් ගෙන යායුතු බවත් රවි කරුණානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *