ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරනු ලබන 25 වැනි ජනාධිපති අපනයන සම්මාන (PEA) උළෙල 2023 නොවැම්බර් මස 23 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ (BMICH) ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත වේ.
අපනයන ක්ෂේත්‍රයට සහ ආර්ථික ප්‍රගමනයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ශ්‍රී ලාංකික අපනයනකරුවන් වෙත ගරු ජනාධිපතිතුමන් විසින් පිරිනමනු ලබන උසස්ම සම්මානය, ජනාධිපති අපනයන සම්මානයයි.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ජනාධිපති අපනයන සම්මානලාභීන් ලෙස සලකා බැලීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට ආරාධනා කරයි. මෙම සම්මාන ප්‍රදානය මගින් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය උදෙසා ඉමහත් සේවයක් ඉටු කරන ලද අපනයන කරුවන් ඇගයීමයි.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ජනාධිපති අපනයන සම්මාන 1981 වර්ෂයේ දී ආරම්භ කරන ලද අතර මේ දක්වා සම්මාන උළෙල 24ක් සංවිධානය කොට ඇත. 25 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල මේ වසරේ නොවැම්බර් මස 23 වැනි දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර මේ සදහා ගරු කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, සුබපතන්නන් මෙන්ම අපනයනකරුවන් විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.
2021/22 සහ 2022/23 මූල්‍ය වර්ෂ දෙක සඳහා ශ්‍රී ලංකාවේ හොඳම අපනයනකරුවන් ඇගයීම සඳහා මෙවර සම්මාන උළෙල පැවැත්වේ. සෑම මූල්‍ය වර්ෂයක් සඳහාම සමස්ත සම්මාන 13ක් සහ නිෂ්පාදන සහ සේවා අංශයේ සම්මාන 51ක් සමඟින් ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ මෙම සම්මාන පිරිනැමේ. තවද, අයදුම්කරුවන්ගේ කාර්ය සාධනය මත විනිශ්චය මණ්ඩලය විසින් තීරණය කරනු ලබන පරිදි සුදුසුකම් ලත් අංශ සඳහා මෙවර. සම්මානලාභින් තෝරා ගැනීම සිදුකරනු ලබන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විශ්‍රාමික විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කීර්තිමත් විනිශ්චය මණ්ඩලයක් විසිනි.
නව රජයේ ප්‍රතිපත්ති රාමුවට අනුකූලව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ අපනයන පුළුල් කිරීම සඳහා නව උපායමාර්ග ක්‍රියාවට නංවා ඇති අතර අපනයන ආදායම ඉදිරි වර්ෂවලදී සැලකිය යුතු ලෙස වැඩි කිරීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, සමස්ත සම්මාන සැලසුම් කිරීමේ දී වෙළෙදපොල විවිධාංගීකරණය, භාණ්ඩ විවිධාංගීකරණය, අපනයන නවෝත්පාදන, භාණ්ඩ හා සේවා සදහා අගය එකතු කිරීම, දේශීය සන්නාම ලොවට හඳුන්වාදීම, අපනයන තිරසාරබව සදහා ගනු ලබන ක්‍රියාමාර්ග, අපනයනය සදහා ප්‍රාදේශීය අගය දාමයන්ගේ දායකත්වය යනාදිය සලකා බලන ලදී.
තවද, අපනයන ඉපැයීම් පමණක් නොව, අපනයන සඳහා අගය එකතු කිරීම, රැකියා උත්පාදනය, අපනයන ඉපැයීම් වර්ධනය, අපනයන ආදායම මෙරටට ගෙන්වා ගැනීම, පාරිසරික තිරසාරභාවය සහ ආයතනික සමාජ වගකීම් වැනි තවත් නිර්ණායක කිහිපයක් ඇගයීමට ලක් කර ඇති බැවින් මෙවර ආංශික සම්මාන තෝරා ගැනීම වඩාත් තරඟකාරී වනු ඇත. එමෙන්ම, කුසලතා සම්මාන පිරිනැමීම හරහා තරගකාරී අපනයනකරුවන් වැඩි පිරිසක් සම්මානයට පාත්‍ර කිරීමට ද කටයුතු යොදා ඇත.
මෙම වසරේ දී ජනාධිපති අපනයන සම්මාන සඳහා විශේෂයෙන් සකස්කරන ලද https://pea.edb.gov.lk මාර්ගගත යෙදුම් ද්වාරය අද දින එලි දක්වනු ලැබූ අතර මේ හරහා මාර්ගගත ක්‍රමයට අද දින පටන් 2023 අගෝස්තු මස 07 වැනි දින දක්වා අයදුම්පත් ඉදිරිපත් කල හැකිය. මාර්ගගත අයදුම්පත්‍රයට අමතරව, සම්මාන කාණ්ඩ, මාර්ගෝපදේශ, ඇගයීම් නිර්ණායක, අයදුම්පත පිරවීම සඳහා උපදෙස්/වීඩියෝ වැනි සියලුම තොරතුරු ලබා ගැනීමට අපනයනකරුවන්ට මෙමගින් අවස්ථාව සලසා දී ඇත.
ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී සම්මානලාභීන්ට කුසලානයක් සහ සහතිකයක් පිරිනැමේ. මෙම දිනයේ සිට වසර 3 ක කාලයක් සඳහා ජනාධිපති අපනයන සම්මාන ලාංඡනය අලෙවිකරණ මෙවලමක් ලෙස භාවිතා කිරීමට ඔවුන්ට අවස්ථාව සැලසේ.
25 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙල ආයෝජන ප්‍රවර්ධන ගරු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මැතිතුමන්ගේ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්. නයිමුදීන් මහතාගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබයි.
Be First to Comment