සහල්වලට රජය පනවා ඇති පාලන මිල ඉවත් කිරීමේ කිසිදු සූදානමක් නැතැයි කැබිනට් ප්‍රකාශක, ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (28) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. කොතරම් අය එළියෙදී යෝජනා ඉදිරිපත් කළත් සහල් පාලන මිල ඉවත් කිරීමට සූදානම් නැති බව හෙතෙම කීවේය. මෙම කන්නයේදී මෙට්‍රික් ටොන් ලක්ෂ 07ක රතු කැකුළු බලාපොරොත්තු වන බව පැවැසූ ඇමැතිවරයා සති දෙකක කාලයක් ඇතුළත රතු කැකුළු ප්‍රශ්නය විසඳීමට බලාපොරොත්තු වන බව කියා සිටියේය.
ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
රතු කැකුළුවල ප්‍රශ්නයක් තියෙනවා. ඇතැම් තැනක පෝලිමක් ආවොත් එන්නේ නාඩු සහල්වල නෙමෙයි රතු කැකුළුවලට. ඉතින් රතු කැකුළු ප්‍රශ්නය විසඳන්න මේ කන්නයේ ගොයම් කැපෙනතුරු ඉන්න වෙනවා. සති දෙකකට ආසන්න කාලයක් තුළදී අපි බලාපොරොත්තු වෙනවා මේ රතු කැකුළු ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳෙයි කියලා. මේ කන්නයේදී මෙට්‍රික් ටොන් ලක්ෂ 07ක රතු කැකුළු අස්වැන්නක් එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. නාඩු ප්‍රශ්නයට අපි විසඳුමක් ලබා දුන්නා. ඒ වෙලාවේ තිබුණේ මෙට්‍රික් ටොන් 70,000ක හිඟයක්. එක්ලක්ෂ හැටහත්දහසක් ගෙනත් තිබෙනවා. මේ ප්‍රශ්නයට ක්‍රමානුකූල විසඳුමක්දී ගෙන යනවා. අනික් පැත්තෙන් මේ අවස්ථාව දඬමීමා කරගෙන කවුරු හරි අයුතු ලාභයක් ගන්න හදනවානම් ඊට එරෙහිව පාරිභෝගික කටයතු අධිකාරිය හරහා වැටලීම් කරනවා. රතු කැකුළු ප්‍රශ්නය පදනම් කරගෙන ඉතිරි සියලු සහල්වල මිල වැඩි කරන්න ඉඩ දෙන්න බැහැ. ජනතාවට සහනයක් ලැබෙන විදියට බඩු මිල පාලනය කරමින් යනවා. සමහර ප්‍රශ්න අපි ඇති කරපුව නෙවෙයි.
නුවන් කොඩිකාර
Be First to Comment