කලක් තිස්සේ පැවති ආදර සම්බන්ධතාවක් බිඳවැටීම නිසා උපාධිධාරි පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කළ පෙම්වතා ද වස පානය කර අසාධ්‍ය තත්ත්වයෙන් ඊයේ (29දා) රත්නපුර ශික්‍ෂණ රෝහලට ඇතුළු කර ඇතැයි රත්නපුර ඇලපාත පොලිසිය පවසයි.
විශ්වවිද්‍යාල කාලයේ සිට පැවති ප්‍රේම සම්බන්ධය විවාහයකින් අවසන් කිරීමට බාධා සිදුවීම නිසා මෙම ඝාතනය සිදුව ඇතැයි පරීක්‍ෂණ සිදු කරන පොලිසිය පවසයි.
රත්නපුර ඇලපාත පොලිස් බලප්‍රදේශයට අයත් දෙල්ලබඩ කරන්ගොඩ ප්‍රදේශයේ පෙම්වතියගේ නිවසේදී 29 හැවිරිදි උපාධිධාරිණියගේ ගෙල කපා ඇත්තේ ඊයේ උදෑසන හයහමාරත් හතත් අතරදී බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ. රත්නපුර ඇලපාත දෙල්ලබඩ පදිංචි කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ 29 හැවිරිදි චන්දිමා හර්ෂණී ගුණරත්න නමැති තරුණියක මෙලෙස ඝාතනය කර තිබිණි. ඇය රත්නපුර නගරයේ පුද්ගලික මූල්‍ය ආයතනයක රැකියාවක නිරතව සිටියාය. ඊයේ උදෑසන මුළුතැන්ගෙය තුළ මියගිය තරුණිය සහ ඇයගේ මව ආහාර පිසිමින් සිටි අතර මව එම ස්ථානයෙන් ඉවත්ව ගිය අවස්ථාවේදී ඝාතනය සිදුව ඇතැයි පොලිසිය පවසයි.
තරුණිය නිවසේ මුළුතැන්ගෙයි ලූනු කපමින් සිටියදී හොර රහසේ ගෙට ඇතුළු වූ එම තරුණයා පිටුපසින් ගොස් පිහියකින් ඇයගේ ගෙල කපා මරා දමා ඔහු ද එම ස්ථානයේදීම වස බෝතලයක් පානය කර බෝතලය ගෙතුළ මේසයක් මත තබා නිවසෙන් පළා ගොස් ඇතැයි ද පොලිසිය පවසයි.
තරුණියගේ පියා නිවසෙන් පිටතට ගොස් සිටි බවද පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.
වස පානය කළ 32 හැවිරිදි තරුණයා මියගිය තරුණියගේ නිවස ආසන්නයේදී කුඹුරකට වැටී සිටියදී ගම්වාසීන් විසින් රත්නපුර මහ රෝහලට යවා තිබේ. තරුණයා අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම තරුණයා රාත්‍රි කාලයේදී තරුණියගේ නිවස ආසන්නයේ රහසේ රැඳී සිටි බවට පොලිසිය සැක කරයි.
ඝාතනය වූ උපාධිධාරිණිය සහ වස පානය කළ උපාධිධාරියා කලක් තිස්සේ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ඇති බවද තරුණියගේ පාර්ශ්වයේ විරෝධය නිසා ප්‍රශ්න ඇතිවී ඇතැයි ද පරීක්‍ෂණවලදී හෙළිව තිබේ. වස බෝතලයෙන් වැඩි ප්‍රමාණයක් තරුණයා විසින් පානය කර ඇතැයි පොලිසිය පවසයි.
සිද්ධිය පිළිබඳව ඇලපාත පොලිසිය පරීක්‍ෂණ පවත්වන අතර රත්නපුර අපරාධ ස්ථානාගාර නිලධාරීන් ද පරීක්‍ෂණ සිදු කළේය.
කහවත්ත – සමරවීර නිරෝෂණ
Be First to Comment