Press "Enter" to skip to content

මූලාසනයට ‘මැදට පනින්න එපා’ කී ප්‍රකාශය සජිත් ඉල්ලා අස් කර ගනී

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (06දා) පාර්ලිමේන්තුවේදී මූලාසනයට ‘මැදට පනින්න එපා’ යනුවෙන් කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් මූලාසනයේ සිටි නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා දැඩි ලෙස කලබල වී අවවාද කිරීම නිසා තමා එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බව පැවසීමට විපක්ෂ නායකවරයාට සිදු විය.

ඊයේ 27/2 යටතේ විශේෂ ප්‍රශ්නයක් යොමු කිරීමට විපක්ෂ නායකවරයාට අවස්ථාව ලැබුණු අවස්ථාවේ ඔහු ඊට පිටින් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධ පරීක්ෂණයකට අදාළව අගමැතිනියට ප්‍රකාශයක් කළේය. එහිදී මූලාසනයේ සිටි නියෝජ්‍ය කථානායකවරයා යමක් ප්‍රකාශ කළ අතර විපක්‍ෂ නායකවරයා ‘මැදට පනින්න එපා’ යැයි මූලාසනයට කියා සිටියේය. එහිදී සභානායක බිමල් රත්නායක මහතා ද ඊට දැඩි ලෙස විරෝධය පළ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශයෙන් තමන් වික්ෂිප්ත (ෂොක්) වූ බව එහිදී ඉංග්‍රීසි භාෂාවෙන් කියා සිටි නියෝජ්‍ය කථානායකවරයා ඔහුගෙන් තමන් එවැන්නක් කිසි ලෙස බලාපොරොත්තු නොවූ බැවින් එය වහා ඉල්ලා අස්කර ගත යුතු බවට නියෝග කළේය. එහිදී විපක්ෂ නායකවරයා තමාගේ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නවා (විත්ඩ්‍රොව්ල්) යැයි කීය. එහිදී ඇති වූ උණුසුම් සංවාදය මෙසේය.

විපක්ෂනායක – මට අගමැතිතුමියගෙන් වැදගත් ප්‍රශ්නයක් අහන්න තිබෙනවා. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳව රජය මැදිහත් වෙලා විනිවිදභාවයෙන් යුතු පරීක්ෂණයක් පවත්වලා, ඒ පවුලේ අයටත් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ අයටත් යුක්තිය සාධාරණය ඉටු කරලා ඒ ඝාතකයන් නීතියේ රැහැනට ගේන්න රජය ගන්න වැඩපිළිවෙළ මොකක්ද?

නියෝජ්‍ය කථානායක- ගරු විපක්ෂ නායකතුමා…

විපක්ෂනායක- විනාඩියක් දෙන්න. විනාඩියක් දෙන්න… කරුණාකරලා මැදට පනින්නේ නැතුව.

නියෝජ්‍ය කථානායක- විපක්ෂ නායකතුමා 27/2 යටතේ ප්‍රශ්නය අහන්න.

විපක්ෂ නායක – මේ ඝාතකයන් කවුද කියලා සොයා බලන්න මැදිහත් වෙන්න කියලා මම ඉල්ලනවා.

සභානායක- දැන් මේකට ගොඩක් චණ්ඩි ඇවිල්ලානේ. ඊයේ එක්කෙනෙක් කථානායකතුමාට ෂේම් ඔන් යූ (ඔබ ගැන ලැජ්ජයි) කියලා කෑගැහුවා. අද තව එක්කෙනෙක් බගර් කිව්වා. දැන් විපක්ෂනායක කියනවා මැදට පනින් නැතුව ඉන්න කියලා. විපක්ෂ නායකතුමා ඒක ඉල්ලා අස්කර ගන්නවද කියලා කියන්න. ඔබ විසිහත දෙක යටතේ ප්‍රශ්නයක් අහන්න නැගිටලා වෙන කතාවක් කියනවා. අපි ඒක අහන් හිටියා. ඒ ගැන නියෝජ්‍ය කථානායකතුමා යමක් කියන්න ගියාම ඔබ නියෝජ්‍ය කථානායකට කිව්වා මැදට පනින්නැතුව ඉන්න කියලා. මේ ගැන වහාම සමාව ගන්න ඕනා. අපි මේක සීරියස් ගන්නවා. වහාම සමාව ගන්න නැත්නම් ඉල්ලා අස්කර ගන්න. මෙතන චණ්ඩි පාට් එපා. (සභාවේ ඝෝෂා)

අපි එක දෙයයි කියන්නේ එක්කෝ සමාව ගන්න. නැත්නම් ඉල්ලා අස්කර ගන්න ඕනෑ.

නියෝජ්‍ය කථානායක – ගරු විපක්ෂ නායකතුමා ඔබ මූලාසනයට අපහාස කළා. මට නොවෙයි මේ මූලාසනයටයි අපහාස කළේ. ඊයේ ෂේම් කියලා අපහාසයක් කළා. මම ඒ මොහොතේ මූලාසනයේ හිටියේ නෑ. (මන්ත්‍රීවරයෙක් කෑ ගසයි) මට වේත්‍රධාරී කැඳවා ඔබව මේ සභාවෙන් ඉවත් කරන්න සිදු වෙනවා. ඔබ ෂේම් කියලා කෑගැහුවා. මම ඒ මොහොතේ මූලාසනයේ හිටියා නම් ඔබට විරුද්ධව පියවරක් ගන්නවා. විපක්ෂ නායකතුමා ඇත්තටම මම වික්ෂිප්ත වුණා. ඔබ එවැනි ප්‍රකාශයක් සිදුකිරීම ගැන. ඔබට මගේ විශාල ගෞරවයක් තිබෙනවා. මම කරුණාකරලා ඔබගෙන් ඉල්ලනවා ඒක ඉල්ලා අස්කර ගන්න කියලා.

විපක්ෂ නායක- මැදට පනින්න එපා කියපු ප්‍රකාශයෙන් මම අදහස් කළේ බාධා කරන්න එපා කියන එකයි. නමුත් එය මූලාසනයට අපහාසයක් නම් මම එය ඉල්ලා අස්කර ගන්නම්. මගේ අහංකාරකමක් මහන්තත්වකමක් නෑ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *