Press "Enter" to skip to content

කොළඹ දිස්ත්‍රික් ජනතාවට රතු කුරුසයෙන් සහන

ගංවතුරින් පීඩාවට පත්වන කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සැලසීමේ ව්‍යාපෘති රැසක් ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ක්‍රියාත්මක කරයි.

ඒ අනුව ගංවතුර ආපදාවන්ට ලක් වූ ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය සනීපාරක්‍ෂක ද්‍රව්‍ය ලබාදීම, වෛද්‍ය කඳවුරු පැවැත්වීම, පානීය ලිං පිරිසිදු කිරීම, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මූල්‍යාධාර සැපයීම , පොදු ස්ථාන පිරිසිදු කිරීම, අවහිර වූ කාණු පද්ධති හා ඇල මාර්ග පිරිසිදු කිරීම සහ ඩෙංගු මර්ධන ව්‍යාපෘති ප්‍රධාන වැඩසටහන් ලෙස ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා රතුකුරුස සමාජය කොළඹ ශාඛාවේ අධ්‍යක්ෂිකා කුමාරි කොතලාවල මහත්මිය පැවසුවාය.

ගංවතුර හේතුවෙන් අපිරිසිදු වූ කොළඹ දිස්ත්‍රික්කයේ පානීය ලිං 650 ක් නොමිලේ පිරිසිදු කිරීම, ගංවතුරින් අවහිර වී තිබූගොතටුව හා කොලොන්නාව ප්‍රදේශයේ ඇළ මාර්ග සහ කානු පද්ධති 30 ක් පමණ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය චන්දන ගජනායක මහතාගේ අධීක්ෂණ යටතේ ශ්‍රී ලංකා රතු කුරුස  සමාජයේ කොළඹ ශාඛාව විසින් පිරිසිදු කර ඇත.

ඩෙංගු අධි අවදානම් ප්‍රදේශ වන ගොතටුව, කිරුළපන, මට්ටක්කුලිය හා කොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ ආවරණය කරමින් නිවාස ඒකක 25,000 ක් පමණ පරීක්‍ෂා කිරීම හා මහජනතාව දැනුවත් කිරීම ද මේ යටතේ සිදු කර ඇත.

කොළොන්නාව, කඩුවෙල, සීතාවක හා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගංවතුරින් ආපදාවට පත් අඩු ආදායම්ලාභී හා සමාජීය වශයෙන් අවදානම් පවුල් සඳහා ගංවතුර හානි පූර්ණ ආධාර ලෙස එක් පවුලකට රු. 20,000/= බැගින් පවුල් හත්සිය පනහකට (750) මූල්‍යාධාර ලබාදීම ද මේ දිනවල සිදුකරමින් පවතින බව ද මේ සඳහා ජාත්‍යන්තර රතු කුරුස සම්මේලනයේ (IFRC) සහය ලැබෙන බව ද කුමාර කොතලාවල මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *