මාතර, වැලිගම ඩබ්ලිව් 15, හෝටලයට 2023.12.31 වැනිදා වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදී ඇති නියෝගය බලරහිත කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළේය.
මාතර මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති පී. අම්පාවිල, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා හා නීතිපතිවරයා ඇතුළු 14 දෙනකු එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබිණි.
සිය රිට් ආඥා පෙත්සම විභාගයට ගෙන අවසන් තීන්දුවක් ලබාදෙනතුරු මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් බී. 6314/ 2023 දරන නඩුව සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගන්නා ලෙසට 2025.02.27 වැනිදා ලබාදුන් එකී නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරනා ලෙසත් නීතිඥ සනත් විජේවර්ධන මහතා මගින් ගොනුකර තිබූ එම පෙත්සම මගින් දේශබන්දු තෙන්නකෝන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණි.
එම පෙත්සම ඊයේ (10දා) අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් හා සරත් දිසානායක යන මහත්වරුන් හමුවේදී කැඳවිණි. එහිදී පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා කරුණු දක්වමින් මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් සිය සේවාදායකයා සම්බන්ධයෙන් ලබාදී ඇති නියෝගය නීතියට පටහැනි නියෝගයක් බව අධිකරණයට පැවැසීය. එකී වෙඩි තැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ සේවය කළ පොලිස් සැරයන්වරයකු මියගොස් ඇති බවත් එම මරණය හා සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි කීපයක් පමණක් සටහන් කරගැනීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් ලබාදී ඇති නියෝගය නීතියට පටහැනි හා නිසි බලයක් නොමැති නියෝගයක් බවත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම පෙත්සම සම්බන්ධයෙන් තමන්ට වගඋත්තරකාර පාර්ශ්වයෙන් මේ දක්වා උපදෙස් කිසිවක් ලැබී නොමැති බව නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥවරිය අධිකරණයට පැවසුවාය.
තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමේ ආසන්න තත්ත්වයක් මතු වී ඇති බැවින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා කෙටි අතුරු තහනම් නියෝගයක් ලබාදීමට පියවර ගන්නා ලෙසත් අවම වශයෙන් පෙත්සම්කරු අත්අඩංගුවට නොගන්නා බවට වගඋත්තරකාර පාර්ශ්වයෙන් පොරොන්දුවක් ලබාදිය යුතු බවත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම කරුණු දැක්වීමට පිළිතුරු දුන් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් තාහිර් ලෆාර් මහතා “මෙම පෙත්සමට අදාළ නඩු ගොනුව මගේ අතට පත්වුණේ අද පෙරවරුවේ තමයි. පෙත්සමේ අන්තර්ගත කරුණු මොනවාද කියලාවත් මම තාම දන්නේ නෑ. ඒ නිසා වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කරලා පෙත්සමේ කරුණු තහවුරු කිරීම සුදුසුයි කියලා මම හිතනවා. උසාවිය පෙත්සම්කරු අත්අඩංගුවට ගන්න නියෝගය නිකුත් කරලා දැන් දවස් කීපයක්ම ගතවුණානේ. අද වනතුරු පෙත්සම්කරු කරදරයක් නැතුව හිටියනේ. ඉදිරියටත් එහෙමම ඉඳීවි” යැයි පැවැසීය.
අනතුරුව වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කර කරුණු තහවුරු කිරීම සඳහා එම පෙත්සම හෙට (12දා) කැඳවීමට විනිසුරු මඬුල්ල දින නියම කළේය. වැලිගම පොලිසිය විසින් එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරාගෙන ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනවිරත්න හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර යන මහත්වරුන්ගේ බලපෑම් මත එකී විමර්ශන සිදුවන්නේ යැයි ද පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් මහතා සිය පෙත්සම මගින් අධිකරණයට පෙන්වා දී තිබිණි.
එමෙන්ම අදාළ පරීක්ෂණ දේශපාලන බලපෑම් සහිත පක්ෂපාති හා ද්වේශ සහගත ආකාරයෙන් සිදුවන්නේ යැයි ද සිය පෙත්සම මගින් පෙන්වා දී තිබූ පෙත්සම්කරු තමන්ගෙන් ප්‍රකාශයක් හෝ සටහන් කිරීමකින් තොරව අත්අඩංගුවට ගැනීමට හා විදේශ ගතවීම වළක්වමින් පසුගිය 1 වැනිදා ලබාදුන් නියෝගය නීතියට පටහැනි බව සිය පෙත්සම මගින් පෙන්වා දී තිබූ පෙත්සම්කරු එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන නවතාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ද වැඩිදුරටත් ඉල්ලා තිබිණි.
ඒ.ජේ.ඒ. අබේනායක
Be First to Comment