Press "Enter" to skip to content

ළමයි අපචාර වලින් බේරගන්න ඕන – ලිංගික අධ්‍යාපනය ලබාදීම වැදගත්

මෙරට දරුවන් මුහුණ දෙන ලිංගික අපචාර ඉහළ යෑමේ බරපතළ තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ඔවුන්ට සිය ශරීරය පිළිබඳව සහ ඉන් ආරක්ෂා වන ආකාරය පිළිබඳව දැනුම ලබාදීමේ අවශ්‍යතාවය මතුව ඇතැයි අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

දැනටමත් 6 වැනි ශ්‍රේණියේ විෂය මාලාවට සෞඛ්‍යය පිළිබඳ විශේෂ මොඩියුලයක් හඳුන්වා දී ඇති බවත්, එය දරුවාගේ වයසට ගැළපෙන ලෙස ශරීර සෞඛ්‍යය පවත්වාගෙන යෑම පිළිබඳ මූලික අවබෝධයක් ලබාදෙන බවත් ඇය සඳහන් කළාය.

පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් විසින් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමේ වැදගත්කම දිගින් දිගටම පෙන්වා දෙන බව අගමැතිනිය අවධාරණය කළාය.

දරුවන් ලිංගික අපයෝජනයට ලක්වීමේ ප්‍රවණතාවය දිනෙන් දින වර්ධනය වීම හමුවේ, එවැනි අනතුරුදායක තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට ඔවුන්ව දැනුවත් කිරීම අත්‍යවශ්‍ය බව ඇය පෙන්වා දුන්නාය.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියද මෙම ගැටලුව බරපතළ සමාජ ප්‍රශ්නයක් ලෙස හඳුනාගෙන ඇති බව අගමැතිනිය සඳහන් කළාය.,

මේ සම්බන්ධයෙන් අදාළ සියලු අමාත්‍යාංශ සහ අධිකාරීන් සමඟ මේ වන විටත් සාකච්ඡා කරමින් සිටින බවත්, ඔවුන්ගේ නිර්දේශ ලබා ගනිමින් පවතින බවත් අගමැතිනිය වැඩිදුරටත් පැවසුවාය.

කෙසේ වෙතත්, මෙම අධ්‍යාපනය ලබාදෙන්නේ කෙසේද, කුමන වයස් කාණ්ඩ සඳහාද, සහ එය ආරම්භ කරන්නේ කවදාද යන්න පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ඇය සඳහන් කළාය.

මෙම සියලු තීරණ ගැනීමේදී, දරුවාගේ වයසට සුදුසු පරිදි සහ ශාරීරික වෙනස්වීම් හමුවේ තමාව ආරක්ෂා කරගැනීමට අවශ්‍ය දැනුම ලබාදිය යුතු බවට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයින් ලබාදෙන උපදෙස් පදනම් කරගන්නා බවද අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කළාය.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *